ඩීසල් හිඟයෙන් වයඹ පෞද්ගලික බස් 2000ක් කොට උඩ

0
30

කුරුණෑගල _ විජේසිංහ වැලිකන්ද

වයඹ පළාතේ ධාවනය වූ පෞද්ගලික බස් රථ 2000කට ආසන්න ප්‍රමාණයක් ඩීසල් හිඟය නිසා ධාවනයෙන් ඉවත්වී ඇතැයිද එම බස් රථවල සේවය කළ රියැදුරන් සහ සහායකයන් 4000කට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වී ඇතැයිද සමස්ත ලංකා එක්සත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න විපුලගුණ මහතා කියයි.

ඒ මහතා මෙසේද පැවැසීය.

“වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ බලපත්‍ර නිකුත් කළ පෞද්ගලික බස් රථ 3500 _ 4000ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඩීසල් හිඟය නිසා බස් රථ 2000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ධාවනය වෙන්නේ නෑ.

ගමන් වාරයෙන් වාරයට හෝ දෛනිකව තෙල්  ගහගෙන ධාවනය කරපු බස්වලට මේ තත්ත්වය තුළ ධාවනය කරන්න බැහැ. ධාවනය වෙන බස් රථවලටත් දුවන්න වෙලා තියෙන්නෙ දවසක් හැර දවසක්. එක දවසක් පාරේ දුවනවා. අනිත් දවසේ 

ෂෙඩ් එකේ ඉන්නවා. මේ තත්ත්වය තුළ වැඩිම බලපෑම් එල්ලවෙලා තියෙන්නේ නගර සේවා බස් රථවලටයි. මේ වෙනකොට වයඹ පළාතේ ධාවනය වන නගර සේවා බස් රථ සියල්ලම අඩාලවෙලා. උදාහරණයක් විදිහට කුරුණෑගල, මල්කඩුවාව නගර සේවා බස් රථ සම්පූර්ණයෙන්ම නැවතිලා. මේ තත්ත්වය මත බස්වල සේවය කරපු රියැදුරු සහ සහායකයන් 2000කට විතර රස්සාව අහිමිවෙලා. දැන් ඒ අයට ජීවත් වෙන්න විදිහක් නෑ. අනිත් පැත්තෙන් ෆිනෑන්ස් ගෙවාගන්න, බස් එක නඩත්තු කරන්න, සේවකයන්ට පඩි දෙන්න විදිහක් නැතුව බස් හිමිකරුවෝ අසරණ වෙලා.

කුරුණෑගල ඉඳලා කොළඹ ගිහින් එන්න බස්  රථයකට ඩීසල් ලීටර් 200ක් වැයවෙනවා. වැඩිවුණු මිලත් එක්ක ඩීසල් සඳහා රුපියල් 3300ක් අමතරව වැයවෙනවා. දැන් දීලා තියෙන 15%ක මිල වැඩිවීමත් එක්ක කොළඹ _ කුරුණෑගල ප්‍රවේශ පත්‍රයක නව මිල රුපියල් 230යි. ඒ අනුව යම් බස් රථයක ආසන 54ම පිරෙන්න මගීන් හිටියොත් රුපියල් 3,240ක මුදලක් ගමන් වාරයකින් වැඩිපුර ලැබෙනවා. නමුත් අනිත් පැත්තෙන් ඩීසල්වලට විතරක්  රුපියල් 3,300ක් වැඩිපුර වැයවෙලා තියනෙවා. එතකොට රුපියල් හැටක් එතැනම පාඩුව. රුපියල් 3,240ක මුදල ලැබෙන්නේ යනකොට සහ එනකොට සියලුම අසුන් ගණනට මගීන් හිටියොත් පමණයි. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නෑ. ඒ නිසා රුපියල් 2000ක විතර පාඩුවක් හැමදාම බස් හිමියකුට විඳින්න සිද්ධ වෙනවා.

මේ සියයට පහළොවේ බස් ගාස්තු වැඩිකිරීම පිළිගන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. රුපියල් 55කින් ඩීසල් මිල වැඩිවීම තුළ ජාතික ප්‍රතිපත්තියට අනුව 15% බස් ගාස්තු වැඩිකිරීම හැදුවේ කොහොමද කියලා ප්‍රවාහන ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම වහාම  හෙළි කළ යුතුයි. බස් ගාස්තුව තීරණය කිරීමට යොදාගත් නිර්ණායක මොනවාද කියලා දැනගැනීමේ අයිතියක් මේ රටේ මගී ජනතාවට සහ පෞද්ගලික බස් රථ හිමියන්ට තියෙනවා” යැයි පැවැසීය.