ජීවිතාරක්ෂක බෙහෙත් ෆ්‍රිජ්වල නරක් වෙනවා

0
25


දුර පළාත්වලට ප්‍රවාහනය කිරීමට ඉන්ධන හිඟය හරස් වී තිබීමත් විදුලිය කප්පාදුව හේතුවෙන් සම්මත තත්ත්වයන් යටතේ ගබඩා කිරීමට නොහැකි වීමත් නිසා බොහෝ පළාත්වලට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඔෟෂධ හිඟයක් ඇතිවීමේ අවදානම පවතිනැයි ඔෟෂධ ශාලා හිමියන්ගේ සංගමය කියයි.

විශේෂයෙන් ඉන්සියුලින් වැනි ජීවිතාරක්ෂක ඔෟෂධ ගබඩා කළ යුත්තේ සම්මත උෂ්ණත්ව තත්ත්ව යටතේ බවත් පැය 10 _ 12 තිස්සේ විදුලිය කප්පාදු කර තිබීම නිසා ශීතකරණ තුළ ඇති ඔෟෂධ නරක් වීමේ සම්භාවිතාවක් ඇති බවත් ඔෟෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද කියාසිටියේය.

ඔෟෂධ ශාලා සියල්ලම සතුව විදුලි උත්පාදන යන්ත්‍ර නොමැති බව පෙන්වාදුන් ඔහු එම යන්ත්‍ර තිබුණත් ඒවා ක්‍රියාකරවීමට ඉන්ධන නොමැති වීමෙන් ඔෟෂධවල ගුණාත්මක භාවයට හානි සිදුවන බවද කීවේය.

ජීවිතාරක්ෂක ඔෟෂධ යැවීමට අවශ්‍ය නිසා දුර පළාත්වලට ඔෟෂධ ප්‍රවාහනය කරන වාහනවලට ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාදෙන්නයි ඉල්ලා රජයට නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළ බවද සභාපතිවරයා කීය.

ඔෟෂධ හිඟයකින් තොරව සැපයීම සඳහා ඩොලරයට සාපේක්ෂව මිල සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යවරයා එකඟ වී යැයි කී ගන්කන්ද මහතා ඒ අනුව ඩොලරයේ මිල ඉහළ ගොස් ඇති බැවින් ඔෟෂධ මිල ඉහළ යනු ඇතැයිද කීය.