ජනතාව පෝලිම්වල සිටීම ගැන කනගාටුයි සහන දෙන වැඩපිළිවෙළකට යනවා

0
29


සඳුනි ගමාරච්චි

පැය 10ක් විදුලිය නැතිව රටේ ජනතාව අපහසුතාවට පත්ව සිටින අවස්ථාවක කට කතා පතුරුවන්නේ නැතිව අවශ්‍ය විකල්ප ක්‍රමවේදවලට යොමුවිය යුතු යැයි තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ පැවැසීය.

එමෙන්ම ජනතාව කටකතාවලට රැවටෙන්නේ නැතිව ආණ්ඩුවේ නිශ්චිත වගකිවයුතු පුද්ගලයකු සිදුකරන ප්‍රකාශවලට පමණක් ඇහුම්කන් දිය යුතු යැයිද ඇමැතිවරයා කීය.

තමා බණ්ඩාරවෙල පැමිණෙන නිසා ඉන්ධන පිරවුම්හලක පෝලිම් වෙනස් කළා කියා රටේ ජනතාව අතර වැරැදි මතයක් ගෙනයෑමට උත්සාහ දරා තිබෙන බව තමන් මාධ්‍යවලින් දුටු බවද ඇමැතිවරයා සඳහන් කළේය.

යම්කිසි කාර්යයකට රාජකාරි මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් ක්‍රියා කරන විට සාමාන්‍ය ජන ජීවිතය තුළ ජනතාව අපහසුතාවට පත්වන අයුරින් උත්සව හෝ වැඩසටහන් සංවිධානය නොකරන්නේ යැයිද නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය.

තෙල් හිඟය හේතුවෙන් අද රටේ ජනතාව පෝලිම්වල සිටීම පිළිබඳව තමා කනගාටු වන බවත් ඒ සම්බන්ධයෙන් ජනතාවට ක්‍රමානුකූලව සහන සැපයීමට සහ පෝලිම් නැතිකර සාමාන්‍ය ජනජීවිතයට මඟ සැලසීමේ වැඩපිළිවෙළක් මේ වන විට සාදා ඇති බවත් තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමැතිවරයා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වූදා සිට පුනර්ජනනීය විදුලිය පිළිබඳව කතා කළ බවත් අද වන විට පුනර්ජනනීය විදුලිබලයට අප යොමුවී තිබුණේ නම් මේ අර්බුදය ඇතිවී ඇති මොහොතේ එම විදුලියෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකිවන බවත් ඇමැතිවරයා පැවැසීය.

තෙල් නැව්, ගල් අඟුරු නැව්, පැමිණෙන තුරු බලා නොසිට හැකි ඉක්මනින් පුනර්ජනනීය විදුලියට අප යොමු වුවහොත් ඉදිරි අවුරුදු කිහිපය තුළ ඊළඟ පරම්පරාවට තිරසර විසඳුමක් දිය හැකි බවද ඇමැති නාමල් රාජපක්‍ෂ සඳහන් කළේය.

මෙම අපහසු කාලයේ එක එක අයගේ අවශ්‍යතාවන් ඉටු නොකර මේ කාලසීමාවේදී සියල්ල එකතුවී ඉදිරියට යෑම අවශ්‍ය වන්නේ යැයි තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ පැවැසීය.