ජනතාව පාරට බසින්නට පෙර

0
77


අප රට තුළ කොවිඩ් වසංගතය ශීඝ්‍රයෙන් පැතිරයමින් තිබියදී අවස්ථා කිහිපයක්ම මුළු රටම ලොක්ඩවුන් කෙරිණි. එහෙත් ආණ්ඩුව  ඒ පියවර ගන්නට අදිමදි කරමින් සිටියදී ආණ්ඩුවේම පරිවාර පක්ෂ කිහිපයක් හා රටේ විවිධ පාර්ශ්වවල හා සෞඛ්‍ය අංශවල බලකිරීම් මත ඒ තීරණය ගත් සැටි අපට අමතකව නැත. ආණ්ඩුවේ හා පෞද්ගලික අංශවල සේවා කටයුතු නිවෙස්වල සිටම ඉටු කෙරෙන ක්‍රමවේදයක්ද සැලසුම් කෙරිණි. ඒ අවස්ථා කිහිපයෙහි අත්‍යවශ්‍ය සේවා කටයුතුවලට හැර සෙසු අවශ්‍යතා සඳහා මඟට බැසීමද නිවෙස්වලින් පිටවීමද ගැටලු සහගත විය. ආණ්ඩුව දැන් ඒ තත්ත්වයට යළිත් රට පත් කරන්නට අරඅඳිමින් තිබේ. ඒ පැය ගණන් එක දිගට විදුලිය කප්පාදු කිරීමෙනි. පාරේ වාහන දුවන්නට අවශ්‍ය ඩීසල් ටික කලට වේලාවට ලබා නොදීමෙනි. පැමිණ නැංගුරම්ලා තිබෙන ඩීසල් නැව්වලට නිසිපරිදි අවශ්‍ය ගෙවීම් නොකොට පැහැර හැරීමෙනි.

අප රටේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉකුත් 28දා වනවිට 16,473ක්ව පැවැතියේය. එදින දෛනික මරණ සංඛ්‍යාව 4කි. ඊට  සමාන්තරව තෙල් පෝලිම් ආශ්‍රිතවද මරණ 4ක් සිදුවී තිබේ. කොවිඩ් මරණ සංඛ්‍යාව හතර දෙනාට අඩුවී තිබියදී, පෝලිම් නිසා  ඒ හා සමාන ගණනක් මරණයට පත්ව තිබීම උත්ප්‍රාස දනවන පුවතකි. ජනතාව දැන් පාරට බසින්නට සූදානම්ය.  එහෙත් රටේ වැඩි පිරිසක් දැනටමත් මහමඟට ඇද වැටී හමාරය. 

උතුර, වයඹ, උතුරු මැද පළාත්වල හා ත්‍රිකුණාමලය, මඩකළපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල ඊයේ වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් වාර්තා විය. ඒ අතරේ විදුලිය කැපිල්ලෙන් ඇතිවුණු බාධා හේතුවෙන් විදුලි පංකා අක්‍රියවීමෙන් හා වායුසමීකරණ ඇනහිටීම හේතුවෙන් බොහෝ කාර්යාල කටයුතු අඩපණ වී ගියේය. පැමිණ තිබෙන ඩීසල් නැවට ගාස්තු ගෙවන්නට ආණ්ඩුව අපොහොසත් වීම නිසා ඊයේත් පෙරේදාත් දින දෙකෙහි පෝලිම්වලට එන්නට එපා කියා පූර්ව නිවේදනයක් කරන්නට ආණ්ඩුවේ බලධරයන්ට සිදුවීම නින්දාසහගතය. 

ශ්‍රී  ලංකා මුහුදු සීමාව ආසන්නයට පැමිණ තිබෙන ඩීසල් නැව වෙනුවෙන් දින කිහිපයකට ප්‍රමාද ගාස්තුව ගෙවීමට ආණ්ඩුවට සිදුවී තිබේ. ඛනිජ තෙල් වෘත්තීය සමිති කියන්නේ දිනකට ඩොලර් 18,000කට අධික ප්‍රමාණයකින් ප්‍රමාද වූ දින ගණනට ගාස්තු ගෙවන්නට සිදුවන බවය. ඒ ඩීසල්වලට ගෙවිය යුතු ගණනට අමතරවය. මේ සියල්ල අන්තිමට මේ රටේ බදු හා ණය බරින් පෙළෙන ජනතාවගේ හිස මතටය.

රට බරපතළ අර්බුදයක පැටලී තිබියදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පොලිසියට රුපියල් බිලියන 2.5ක වටිනාකමකින් යුතු ජීප් රථ 750ක් ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අස්සන් කිරීම ඉකුත් 30දා සිදුවෙයි. රට තුළ තෙල්, ගෑස් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සම්බන්ධව අර්බුදයක් පැනනැඟී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශය මෙවැනි ගිවිසුමකට අත ගසන්නේ කුමන අරමුණු ඇතිවදැයි මේ රටේ ජනතාවට බරපතළ ගැටලුවකි. 

ආණ්ඩුව මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ පොලිසියට ජීප් රථ ගෙන්වන්නටද? මීට පෙර ත්‍රිරෝද රථ 2,000ක්ද, ජීප් රථ හා තවත් වාහන 72ක්ද, යතුරුපැදි 150ක්ද පොලිසියට ලබා දී තිබෙන බවද අපට අමතකව නැත. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය අඤ්ඤකොරොස් කරගෙන තිබෙන්නේ මේ වාගේ පටු අරමුණු තීරණ මතය. 

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියන්නේ ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී  ලංකාවට ඉන්ධන ලබාදීම එළැඹෙන 05දා සිට ආරම්භ කරන බවය. අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ  එතෙක් ඉවසා බලාගෙන සිටින ලෙසය. තෙල් සම්බන්ධයෙන් පමණක් නොව ගෑස් හා විදුලිය සම්බන්ධයෙන්ද මේ වාගේ කතන්දර මේ රටේ ජනතාවට අසා හුරුපුරුදුය. ජනතාව ප්‍රකෝපයට පත්ව සිටින්නේ අමාත්‍යවරුන්ගේ බොරු පූචානම් කතන්දරවලටය. ප්‍රශ්නවලට, ගැටලුවලට නිසි විසඳුම් නොසොයා අමාත්‍යවරුන් එහාට මෙහාට මාරු කිරීමෙන් පලක් වී නැති බව දැන් හොඳටම පැහැදිලිය. මුලදී අමාත්‍යවරුන්ට බැරි නම් ගෙදර යන්නයි කියා උද්ඝෝෂණ කළ ජනතාව දැන් ආණ්ඩුවටම ගෙදර යන්නැයි කියති.

කඩා වැටෙන ආර්ථිකය ගැට ගහගන්නට දැන් ආණ්ඩුව යොදන්නට යන උපක්‍රම හැම එකක්ම වාගේ එදාවේල පිරිමහගන්නා ක්‍රමයේ ඒවාය. චීනය _ ඉන්දියාව අපට ණය දෙන්නට සූදානම් වී සිටින්නේ රට දියුණු කරගන්නට නොවන බව පෙනේ. චීන ණය ඒ රටේම ණය තුරුස් අලුත් කර ගැනීමටය. ඉන්දියාවේ ණය ආතක් පාතක් නැතිව හොඳටම අමාරුවේ වැටී සිටින රටකට දෙන සානුකම්පිත සහයෝගයක් වැනිය. ඉන්දියාව අපට තෙල් නැව එවන්නේ ඒ අනුවය. පොලිසියට ගන්නට යන ජීප් රථ ටිකත් එහෙම ගනුදෙනුවකි. මෙරටට ඇවිත් දින දෙක තුනක් මෙහි රැඳී සිටින ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් කියන්නේ ශ්‍රී  ලංකාවට නිසි වේලාවට සහාය වීම ඉතා වැදගත් බැවින් ලබාදෙන සහාය කඩිනම් කිරීම සඳහා ඉන්දියාව අතිකාල වැඩ කරමින් සිටින බවය.

කලාප 191කට විදුලිය කැපිල්ලක් නැත. පාර්ලිමේන්තුව, ජනාධිපති නිල නිවෙස, මාදිවෙල මන්ත්‍රි නිවාස එසේ නොකැපෙන කලාප ලැයිස්තුවට ඇතුළත්ය. එවිට පැය ගණන් එක දිගට විදුලිය කැපෙන්නේ මේ රටේ සංවර්ධනයට උරදෙන සාමාන්‍ය පොදු ජනතාව වෙසෙන වැඩ කරන ප්‍රදේශවලය. මස්, මාළු වැනි දේ ශීතකරණවල තබාගෙන විකුණාගෙන දෛනිකව මුදල් උපයන පොඩි පොඩි ව්‍යාපාරිකයන් සිටින තැන්වලය. කොණ්ඩා, රැවුල් කපන බාබර් සාප්පු පිහිටි ස්ථානවලය. තවත් නොයෙක් ආකාරයේ විදුලි බලය අත්‍යවශ්‍ය කඩ සාප්පු, කම්හල් ඇති ස්ථානවලය. කැපිල්ලෙන් ඇදවැටෙන්නේ මේ රටේ සාමාන්‍ය කම්කරු ජනතාවය. එසේනම් මේ කරන්නට යන්නේ රට ආයෙත් ආපස්සට කරකැවීමය. අද හෙට ජනතාව පාරට බැසිල්ල නවතන්නට නම් ආණ්ඩුව මේ කැපිලි කෙටිලි වහා නතර කළ යුතුය. ජනතාවට කඩිනමින් සහන දිය යුතුය. තවදුරටත් මේ පීඩනය දරා ඉවසා සිටින්නට ජනතාව අසමත්වන දිනය වැඩි අෑතක නොවේ.