ගෙල මිරිකා මරා දමා තිබූ බව කියන සය දරු පියාගේ ඝාතනය ගැන දෙදෙනෙක් අත්අඩංගුවට

0
28


දමුණුපොළ – චමින්ද ජයලත්

මාවනැල්ල, ගුරුගොඩ හරහා ඉදි කර ඇති ගඩොල් පාලම යටදී විස මත්ද්‍රව්‍යයක් යොදා අරක්කු පානය කිරීමට සලස්වා බැංකු කාඩ් පත සොරාගෙන ගෙල මිරිකා ඝාතනය කරන ලද සය දරු පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙක් පෙරේදා (30දා) ජා-ඇළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පැවැසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇළ, බෝපිටිය, 10 පටුමඟ, නිල්සිරිගම පදිංචිව සිටින පෙරියසාමි පන්නීර් සෙල්වම් නමැති 52 හැවිරිදි දෙදරු පියෙක් හා ජා-ඇළ, බෝපිටිය 10 පටුමඟ, නිල්සිරිගම පදිංචිව සිටින සින්න රාජා ත්‍යාග රාජා නමැති 72 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් බවත් පොලිසිය පැවැසීය.

මාවනැල්ල පොලිස් වසමේ අලුත්නුවර නිව්ලෑන්ඩ් වත්තේ පදිංචිව සිටි ධර්මලිංගම් රාජරත්නම් නමැති 61 හැවිරිදි සය දරු පියාට පළමු විවාහයේ දරුවන් සිවු දෙනෙක් සිටින බවත් බිරිය හා දරුවන් සිවු දෙනා අතහැර දමා වෙනත් විවාහයක් සිදු කරගෙන අලුත්නුවර නිව්ලෑන්ඩ් වතුයායේ පදිංචිව සිට ඇති බව පොලිසිය පැවැසීය.

දෙවැනි විවාහයේ වයස අවුරුදු 24ක හා 19ක ගැහැනු දරුවන් දෙදෙනෙක් සිටින බවත් පොලිසිය  පැවැසීය.

ඉකුත් පෙබරවාරි 26 වැනිදා ධර්මලිංගම් නමැති සය දරු පියාගේ දෙවැනි බිරියගේ උපන් දිනය යෙදී තිබුණු බවත් එදින බිරිය දරුවන් දෙදෙනා සමඟ මාවනැල්ල නගරයට පැමිණ බිරියට හා දරු දෙදෙනාට ඇඳුම් පැලඳුම්, කේක්, ආහාර පාන වර්ග අරන් දී ත්‍රිරෝද රථයකින් අලුත්නුවර නිවෙස වෙත පිටත් කර යවා තිබිණි.

පසුව ධර්මලිංගම් නමැත්තා මාවනැල්ල නගරයේ මත්පැන් අලෙවි වෙළෙඳසලකට ගොස් මත්පැන් බෝතලය් ගැනීමේදී දෙදෙනකු මුණගැසී මත්පැන් පානය කිරීමට යමු යැයි යෝජනා කර තිදෙනාම කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පිහිටි මාවනැල්ල ගඩොල් පාලම යටට ගොස් ගල් තලාවේ මත්පැන් පානය කිරීමට යොදාගෙන ඇති බවත් පොලිසිය පැවැසීය.

එහිදී සැකකරුවන් දෙදෙනා විස මත්ද්‍රව්‍ය යොදා ධර්මලිංගම් නමැත්තාට මත්පැන් පානය කිරීමට සලස්වා පසුව කමිසයේ සාක්කුවක තිබුණු බැංකු කාඩ්පත සහිත රහස් අංකය ගෙන වැටී සිටි ධර්මලිංගම් නමැත්තාගේ ගෙලද මිරිකා ඝාතනය කොට දේහය මා ඔයේ ගල් තලාවේ දමා දෙදෙනා මාවනැල්ල නගරයට ගොස් දෙලක්‍ෂ දාහත් දහසක මුදලක් තිබුණු බැංකු කාඩ් පතෙන්, රුපියල් ලක්ෂ එකහමාරක් ගෙන ඇති බවත් පොලිසිය  පැවැසීය.

පසුව දෙදෙනා 26 වනිදා රාත්‍රි මහනුවර ගොස් එදිනම රාත්‍රි මහනුවර ගතකොට 27 වැනිදා බැංකු කාඩ් පතෙන් රුපියල් 15,000ක් හා රුපියල් 34,000ක ඇඳුම්, රුපියල් 17,000ක සුපර් මාකට් එකකින් භාණ්ඩ ගෙන ඇති බවත් පොලිසිය පැවැසීය. පසුව දෙදෙනා ජා-ඇළ නිවාස වෙත ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය.

පසුව ධර්මලිංගම් රාජරත්නම් නමැත්තාගේ බිරිය සිය ස්වාමි පුරුෂයා 26 වැනිදා රාත්‍රි ආපසු නිවෙසට පැමිණියේ නැතැයි පවසා 27 වැනිදා පෙරවරුවේ මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

පසුව 27 වැනිදා සවස මා ඔයේ දිය නෑමට ගොස් සිටි පිරිසක් මෘත දේහයක් ගල් තලාවක තිබෙන අයුරු දැක මාවනැල්ල පොලිසියට දන්වා තිබුණි.

මාවනැල්ල පොලිසිය සිය සැමියා අතුරුදන්ව ඇතැයි පවසා පැමිණිල්ලක් සිදුකර තිබුණු කාන්තාව ගෙන්වා දේහය පෙන්වීමෙන් පසු සැමියාගේ සිරුර බවට හඳුනාගෙන තිබුණි. පසුව සිරුර කෑගල්ල මහ රෝහලට ගෙනගිය පසු කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩී. එස්. මදරසිංහ මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කර ඇත. සිරුර පළමු බිරියගේ කෑගල්ල අඹන්පිටියේ පදිංචිව සිටින දෙවැනි පිරිමි දරුවාට භාර කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පිළිබඳ පොලිසිය කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා පෙරේදා (30දා) සවස ජා-ඇළ පිහිටි නිවාසවල පදිංචිව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අමිල බණ්ඩාර, පොලිස් පරීක්‍ෂක ජයන්ත බණ්ඩාර, උප පොලිස් පරීක්‍ෂක බුද්ධික කුමාර, පොලිස් සැරයන් සම්පත් (64324), පොලිස් කොස්තාපල්වරුන් වන කළුගල්ල (61999), නලීන් (70916), පොලිස් කොස්තාපල් රියැදුරු විජේසේකර (80885) සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් ඊයේ (31දා) මාවනැල්ල පොලිසියට භාර කෙරිණි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මුදල්වලින් මහනුවර නගරයේ වෙළෙඳසලකින් මිලට ගත් ඇඳුම් තොගයක් පොලිසිය විසින් සැකකරුවන්ගේ නිවාසවල තිබියදී සොයාගෙන තිබුණි. දෙවැනි සැකකරු වන සින්න රාජා ත්‍යාග රාජා නමැත්තා මඩකළපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් කොළඹ ආපන ශාලාවක වැඩ කරමින් සිටියදී පළමු සැකකරු හඳුනාගෙන පසුව දෙදෙනා කාලයක් තිස්සේ සිට පුද්ගලයන්ගේ මුදල් මංකොල්ලකන බවත් පොලිසිය පැවැසීය.