ගතවූ වසර අටේ අලුත් බලාගාර ඉදිනොකිරීම විදුලි අර්බුදයට හේතු වුණා

0
22


සඳුනි ගමාරච්චි

විදුලි උත්පාදනය සඳහා 2014න් පසු මේ දක්වා විදුලි බලාගාර ඉදිනොකිරීම වර්තමානයේ පවතින විදුලි අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇතැයි විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවැසුවාය.

එමෙන්ම වර්ෂාව නොමැති නිසා ජලාශවල ජල මට්ටමේ ධාරිතාව අඩුවී ඇති බැවින් ජලය මඟින් විදුලිය ජනනය කිරීම සීමා වී ඇති බවද ඇමැතිවරිය කීවාය. පසුගිය වසරේ (2021) ජලය මඟින් සියයට 51%ක ප්‍රමාණයක් විදුලිය උත්පාදනය සඳහා යොදා ගත්තද මෙම වසරේ එම ප්‍රමාණය සියයට 20% දක්වා අඩුවී ඇතැයිද මේ හේතුවෙන් වර්තමානය වනවිට තවත් විදුලි බලාගාර ඉදිකිරීම අවශ්‍ය වන බවද ඇමැතිවරිය පැවැසුවාය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට පෙරේදා (30දා) එක්වෙමින් ඇමැතිවරිය මෙසේ පැවැසුවාය. 

මන්ත්‍රි නිවාසවලට විදුලිය කප්පාදු නොකරන්නේ ඇයි දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරිය,

“එය සම්පූර්ණයෙන්ම අසත්‍යය ප්‍රකාශයක්. මේ තරම් ප්‍රශ්නය උග්‍රවීමට පෙර බොහෝ ආයතන විදුලිය විසන්ධි කිරීමෙන් ඉවත් කළා. මන්ත්‍රි නිල නිවාස විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුව, නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන්න පුළුවන් සමහර වෙලාවට. විදුලිබල මණ්ඩලය මේ වනවිට කලාප 165ක විදුලිය විසන්ධි කරන්නේ නැහැ.”

“බොහෝ රෝහල්, වරාය, ගුවන්තොටුපොළ, කර්මාන්තපුර ආදී විදුලිය ලබාදිය යුතු ස්ථානවලට විදුලිය දෙන විට ඒ හා සම්බන්ධ වන නිවාසවලට හා අනෙකුත් ස්ථානවලට විදුලිය ලැබෙනවා. විදුලිය අවශ්‍ය අදාළ ස්ථානයට පමණක් විදුලිය ලබාදීමට කටයුතු කරන ලෙසට මම නිලධාරීන්ට උපදෙස් දුන්නා.