කුප්පි ලාම්පුවක් පෙරළී පෑලියගොඩ නිවාස තුනක් අළුවෙයි

0
47

ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ එකොළොස් හැවිරිදි දැරියක් මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන අතර කොළඹ ගිනිනිවීම් අංශයේ ගිනිනිවීම් රථ දෙකක ආධාරයෙන් පෑලියගොඩ පොලිසියද එක්ව ගින්න පැතිරීමට නොදී වළක්වා ගෙන ඇත. ගින්න හටගත් නිවෙසේ හිමිකරු ත්‍රිරෝද රථ රියැදුරකු බවත් මේ දිනවල පවතින ඉන්ධන හිඟය මත  නිවෙස තුළ පෙට්රල්  බූලියක්ද තබා තිබී ඇති අතර එයට ගිනි ඇවිළීමෙන් ගින්න පැතිරී ඇති බවත් තතු දත් ආරංචි මාර්ග පැවැසීය.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්  සහ රජයේ රස පරීක්ෂකවරයා 30 වැනි උදෑසන  සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත. දරමඩුව වත්ත කොට්ඨාසය භාර  නාගරික මන්ත්‍රි කේ.ඩී. චන්ද්‍රරත්න මහතා පැවැසුවේ උන්හිටි තැන් අහිමි වූ පවුල් තුනට අවශ්‍ය පහසුකම් ආහාරපාන ලබාදීමට අවශ්‍ය නීතිමය උපකාර ලබාදී ඇති බවත් ඇඳිවත පමණක් ඉතිරි වූ පවුල් තුනක දරුවන්ගේ පාසල් පොත් පවා ගින්නෙන් විනාශ වී ඇති බවත්ය.

පවතින ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස පෙට්රල් වැනි වහා ගිනිගන්නා සුලුදේ නිවෙස් තුළ ගබඩා කර ගැනීමෙන් මෙවැනි සිදුවීම් ඉදිරියේදීත් බහුලව වාර්තා විය හැකි බවත් එක් ගැටලුවකින් තවත් විශාල ගැටලු ඇති වෙන බවත් පීඩිත පන්තියේ ජනතාව මේ තුළින් කබලෙන් ළිපට ඇද වැටෙන බවත් ප්‍රදේශවාසීහු පැවැසූහ.

පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කළුවිතාරණ සහ අපරාධ අංශයේ  ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් සුභාෂණ යන මහත්වරු ඇතුළු  නිලධාරීන් මෙම ගිනි ගැනීම් සම්බන්ධයෙන්  

පරීක්ෂණ මෙහෙයවති.

කැලණිය – කුසුම් එස්. හැන්නදි