එක්දින තරගය අප්‍රේල් 3 ප්‍රේමදාස පිටියේදී

0
28


කොළඹ ආනන්ද සහ නාලන්ද දෙවිදුහල් අතර පී. ද එස්. කුලරත්න අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 2021 සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය අනිද්දා (3දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. 

මෙහිදී කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩක සවිරු බණ්ඩාරගේ මෙහෙයැවීම යටතේ මෙම තරගයට පිවිසෙද්දී නාලන්ද පිල රවින් ද සිල්වාගේ නායකත්වයෙන් මෙවර මහා ක්‍රිකට් තරගයට පිවිසේ. මෙවර සුලෝහිත සංග්‍රාමය සඳහා ද ඩයලොග් ආසියාටා සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වනු ලබයි. 

කෙසේ වෙතත් රට තුළ පවතින කොවිඩ් 19 වයිරස වසංගත තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙවර මහා ක්‍රිකට් තරගය පැවැත්වීමට දෙවිදුහල් වන ඒකාබද්ධ තරග සංවිධායක කමිටුව කටයුතු යොදා තිබීමද කැපී පෙනෙන සිදුවීමකි. 

මේ වන විටත් දෙවිදුහල් අතර සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරග 12ක් ජයගනිමින් කොළඹ ආනන්ද විදුහල ඉදිරියෙන් පසුවෙද්දී නාලන්ද විදුහලට ජයගැනීමට හැකිව ඇත්තේ තරග 6ක් පමණක් වීමද කැපී පෙනේ. කොළඹදී පසුගියදා මෙම තරගයට අදාළ නිල අනුග්‍රාහක චෙක්පත පිරිනැමීමද සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ආනන්ද විදුහලේ විදුහල්පති ලාල් දිසානායක, නාලන්ද විදුහල්පති තිලක් වත්තුහේවා සහ ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන නිලධාරි (වැඩසටහන් කළමනාකරණ සහ ටෙලි යටිතල පහසුකම්) උපාලි ගුණතිලක යන මහත්වරු සහභාගි වූහ.