ඇන්තූරියම් වගාව අස්සේ ගංජා වැවූ කාන්තාව අත්අඩංගුවට

0
154

පන්නිපිටිය – හෂාන් පුෂ්පික 

ඇන්තූරියම් වගාවක් මුවාවෙන් ගංජා වගාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් 29 වැනිදා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රුක්මල්ගම, විජයපුර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි. ඇන්තුරියන් මල් වගාවක් පවත්වාගෙන යමින් ගංජා වගාවක්  පවත්වාගෙන යන කාන්තාවන්  පිළිබඳව  බස්නාහිර පළාත් බුද්ධි  කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් සම්පත්ට (77780) පසුගියදා තොරතුරක් ලැබී තිබිණි.

ඒ පිළිබඳ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චතුරංග මහතා දැනුවත් කොට නිලධාරීන් කණ්ඩායමක් සමඟ එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී  ඇන්තූරියම් මල් වගාව පිටුපස සරුවට වැඩී තිබූ ගංජා ගසක් හමු වූ බව පොලිසිය කියයි. ඒ අනුව මල් වගාව පවත්වාගෙන ගිය කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මීට මාස පහකට පෙර ලැබී තිබූ ගංජා ඇට කිහිපයක් තවාන් දැමූ බවත් ඉන් පැළ කිහිපයක් වැඩී. මීට මාසයකට පමණ පෙර අනෙක් පැළ මැරී ගොස් ඇති බවත් මේ ගස පමණක්  සරුවට වැඩි ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පැවැසීය.

 ගංජා ගසේ පළදාව පසුකලෙක අලෙවි කිරීමේ අරමුණින් වගා කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. අත්අඩංගුවට ගත් කාන්තාව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  සුභාෂණ වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග මහතාගේ මෙහෙයවීමෙන් පො.කො. කුලතුංග (42725), ජයන්ත (80096), රන්දික (84117)  වික්‍රමසිංහ (21283), විජේසිංහ (94036), බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පො.කො. සම්පත් (77780), කා.පො.කො. උදයංගනී (12525) ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.