අසංවිධිත රැලිවලින් පරිස්සම් වෙන්න

0
22


අනුරාධා හේරත් 

ජනතා කෝපය යටපත් කර ආණ්ඩුවට සුදු හුනු ගෑමේ අසංවිධානාත්මක විරෝධතා රැලි රට තුළ ක්‍රියාත්මක වන සෙවණැලි  මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවයි.

වගකිවයුත්තෙක් නොමැති හෝ සංවිධානයක් නොමැති එවැනි  විරෝධතාවලින් ප්‍රවේශම් වන ලෙසද එම පෙරමුණ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එම පෙරමුණ සඳහන් කරන්නේ  ස්වයංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවයි.

මේ පිළිබඳ  විශේෂ  නිවේදනයක්  ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායකගේ හා පක්ෂයේ නිල වෙබ් අඩවියේත් මුහුණු පොතේත් සඳහන් කර තිබේ.

“රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්ත්වයකට බව අපි දනිමු. හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්තරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත. එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටියි. සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ. එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම්සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි. එසේම ස්වයංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු” යි එහි වැඩිදුරටත්  සඳහන් කර ඇත.