අවසන් පූර්ව වටයට එන්න සෙබස්තියනයිට්ස් සහ මුවර්ස් සටනක

0
20


ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන ප්‍රමුඛපෙළ නැඟී එන අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සති අන්තයේ තරග 6ක් අද (1දා) ආරම්භ වීමට නිමිතය. එමෙන්ම මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද ආරම්භ වීමට නියමිතව ඇත. 

ඒ අනුව මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින එස්.එස්.සී. සහ සී.සී.සී. කණ්ඩායම් අතර තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදීත් ශ්‍රී  ලංකා නාවික හමුදා සහ සෙබස්තියනයිට්ස් අතර තරගය වැලිසරදීත් ආරම්භ වේ. එමෙන්ම ලන්කන් සී.සී. සහ ශ්‍රී  ලංකා ගුවන් හමුදාව ‘ඒ’ කාණ්ඩය යටතේ පනාගොඩ ශ්‍රී  ලංකා යුද හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය. 

එමෙන්ම ඩී’ කාණ්ඩයේ තරගයකදී කෝල්ට්ස් සහ බී.ආර්.සී. කණ්ඩායම් කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී එකිනෙකා හමුවේ. තවද ‘ඩී’ කාණ්ඩය යටතේ ගාල්ල ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම් තරග වදිද්දී කළුතර ක්‍රීඩා සමාජය සහ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය අතර ‘ඩී’ කාණ්ඩයේ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදීය. 

මෙම තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයෙන් කෝල්ට්ස් කණ්ඩායම අපරාජිතව මේ වන විටත් මෙම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී ‘බී’ කාණ්ඩයෙන් නිගම්බු කණ්ඩායමත් සී’ කාණ්ඩයෙන් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ කණ්ඩායමත් අවසන් පූර්ව තරග වටයේ තම ස්ථානය තහවුරු කරගෙන ඇත. කෙසේ වෙතත් ලන්කන් සී.සී. පිලට එරෙහිව තරගයෙන් පූර්ණ ජයක් වාර්තා කිරීමට සෙබස්තියනයිට්ස් කණ්ඩායම සමත්වූ පසුබිමක ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් කණ්ඩායම් 4 සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වන්නේ මූලික වටයේ අවසන් සති අන්තයේ තරග ප්‍රතිඵල මත වීමද කැපී පෙනේ. එහිදී ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන මුවර්ස් පිල තරග 6කදී පූර්ණ ජයග්‍රහණ 4ක් වාර්තා කර සිටියද සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය තරග 5කදී පූර්ණ ජයග්‍රහණ 4ක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ මූලික වටයේ තවත් තරගයක් තිබියදීය. ඒ අනුව සෙබස්තියනයිට්ස් පිල නාවික හමුදාවට එරෙහිව තරගය ජයගැනීමට සමත් වුවහොත් අවසන් කණ්ඩායම් 4ට යෑමේ අවස්ථාව ඔවුන්ට හිමිවනු ඇත.