අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට ගොදුරු වෙන්න එපා

0
23


අප්‍රේල් 03 වැනිදා විරෝධතාවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහයෝගය දෙන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන පුවත අසත්‍ය යැයි එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

එම නිවේදනයෙහි මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව සිය ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට පත්ව ඇති මේ මොහොතේ එමඟින් සමාජයේ සෑම ජන කොටසක්ම දැඩි පීඩාවට පත්ව තිබේ. එම අර්බුදයෙන් රට ගොඩගැනීම ඉලක්ක කරගත් ‘මුළු රටම හරි මඟට’ ජාතික වැඩපිළිවෙළ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන පක්ෂ එකොළහ විසින් කඩිනමින් ඉදිරිපත් කරනු ලැබුවේ ඒ කෙරෙහි අප බලවත් සේ සවිඥානක නිසාය.

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කොට නව ගමන්මඟකට මුලපිරීමට මේ පිළිබඳ සවිඥානක දේශපාලඥයන් සියල්ලටම අප ඇරයුම් කොට ඇත්තේද ‘මුළු රටම හරි මඟට’ ගැනීමට මිස පටු දේශපාලන වාසි ලබා ගැනීමට නොවේ. මෙවැනි මොහොතක දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා සාමාන්‍ය ජනතාවට එම අර්බුදයට විස¾දුම් ඉල්ලා  විරෝධය පෑමේ අයිතියට අපි ගරු කරන්නෙමු. එහෙත් වගකිවයුත්තකු, සංවිධායකයකු නොමැති විරෝධතා කෙරෙහි අපගේ බලවත් අවධානය යොමුවිය යුතුව තිබේ. ‘අප්‍රේල් 03දා සවස 03ට පාරට බහින්න’ නම් විරෝධතාවද එවැන්නෙකි. එවැනි විරෝධතාවන් පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයන් පැවැතිය හැකිය.

එම විරෝධතාව සම්බන්ධයෙන් පළමුව පැවැසිය යුත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම විරෝධතාවට සහයෝගය දෙන බවට සමාජ ජාලා මඟින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බවය. එසේම ජාතික නිදහස් පෙරමුණ හෝ පක්ෂ 11ක එකමුතුවද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බවද ඉතා වගකීමෙන් දැනුම් දෙන්නෙමු.

කෙසේ වුවද රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස යන දේශපාලඥනයන් විවෘතවම මෙම විරෝධතාවට සහභාගි වන බව පැවැසීම මඟින් මෙය සමගි ජන බලවේගය මෙහෙයවන විරෝධතාවක් බව බොහෝදුරට තහවුරු වෙමින් පවතී. රට අද පවතින තත්ත්වයට ණය උගුලක සිර කරවීමට මූලික වූ එජාපයේ වත්මන් දිගුව වන ‘සජබ විරෝධතාවන්ට’ අපි කිසිදු ආකාරයක සහයෝගයක් ලබානොදෙන බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු. එසේම මෙම ‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට’ හසු නොවන ලෙස ආණ්ඩු විරෝධී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.