අප්‍රේල් 3 විරෝධයට පිවිතුරු හෙළ උරුමය නෑ

0
22


විනීතා එම්. ගමගේ

“සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙන අප්‍රේල් 3 ව්‍යාපාරයට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි” එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල කියා සිටියේය.

ආණ්ඩුවට විරුද්ධව හඬ නැඟීමේ ජනතා අයිතිය භාවිත කරද්දී ඉතාම සංයමයෙන් හා ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් එසේ නොවුණොත් මේ අවස්ථාව මර්දනය සඳහා යොදා ගැනීමට ආණ්ඩුව උපායශීලීව කටයුතු කිරීමේ අවදානමක් පවතින බවටත් ඔහු අනතුරු හැඟවූයේය.

ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ ඊයේ (31දා) පැවැති එම පක්ෂයේ මාධ්‍ය හමුවක දීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීය.

අප්‍රේල් මස 3 වැනිදා හවස 3.00ට පක්ෂ පාට භේද අමතක කර ජනතාව පාරට ගෙන්වීමේ ව්‍යාපාරයක් මේ දිනවල ඉතා ප්‍රබලව සමාජ මාධ්‍යවල පවතිනවා. ඒ පිළිබඳ ඉතා වැදගත් කාරණා දෙකක් සිහිපත් කිරීමටයි අපි කල්පනා කළේ.”

“සමහර මාධ්‍ය ජාලා හරහා ප්‍රකාශ වෙනවා මෙම වැඩසටහනට සංවිධාන දායකත්වය ලබාදෙන එක් සංවිධානයක් විදිහට පිවිතුරු හෙළ උරුමය මුලින්ම කියන්න අවශ්‍යයි පිවිතුරු හෙළ උරුමය.  එම වැඩසටහන සංවිධානය කිරීමේලා කිසිම නායකත්වයක්, දායකත්වයක් සපයලා නැහැ. ඒ නිසා පිවිතුරු හෙළ උරුමයේ නම සිතා මතා මේ ව්‍යාපාරය සමඟ ගැටගසා තිබෙනවා. අපි කරන දේ බව නැතිව කියනවා අපි තමයි කරන්නේ කියලා. ඒවගේම කවම කවරදාකවත් අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන්න අපි ඉදිරිපත් වෙලා නැහැ.”

දෙවැනි කාරණය මේ වැඩසටහනට පැමිණෙන අයට ඉතාම වැදගත් අනතුරු ඇඟවීමක් අපි කළ යුතුයි. මේ වැඩසටහන නිශ්චිත සංවිධානයක් ඉදිරියට නොපැමිණ සංවිධානය කරන කටයුත්තක්. සාමාන්‍යයෙන් පක්ෂයක් හෝ වෙනත් සංවිධානයක් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීමෙහි දී එයට නිශ්චිත නායකත්වයක් තියෙනවා. ඒ නිසාම පැමිණ සිටින පිරිස පාලනය කිරීමට නායකත්වයට හැකියාවක් තියෙනවා. නමුත් මේක කිසිම නායකත්වයකින් තොරව සංවිධානය වන නිසා බොහෝ වෙලාවට මේක ඇතුළට යම් පිරිස් රිංගවල සංවිධානාත්මකව ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමට උත්සාහයක් දරන්න පුළුවන්.

ජනතාවත්  කෝප වී සිටින මොහොතක් බැවින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම අතිශයින්ම පහසු කටයුත්තක්.  එවැනි කටයුත්තක් ඇති කර ගැනීමේ අවසාන වාසිය තියෙන්නේ ආණ්ඩුවට. මොකද දැවැන්ත ආණ්ඩු විරෝධයක් පවතින මොහොතක හදිසි නීතිය පනවල යුද හමුදාව කැඳවල සෑම තැනම හමුදාව රඳවලා ජනතාවට තමන්ගේ වේදනාව විරෝධය පළ කිරීමට තියෙන නිදහස නැති කිරීමේ අවස්ථාවක් ආණ්ඩුවට ඇති වෙනවා. ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති වුණොත් ජනතාව ප්‍රචණ්ඩ නොවුණත් සංවිධානාත්මක පිරිසක් ප්‍රචණ්ඩව හැසිරිලා මේ වැඩසටහනට එම සම්පූර්ණ වගකීම පැවැරීමේ අවදානම තියෙනවා.