හුන්නස්ගිරි කන්දේ ඓතිහාසික ස්ථාන රැසක් කැලේට යටවී විනාශ වීමේ අවදානමක්

0
24

මෙම කන්දේ නුගේතැන්න බෑවුමේ මිනිසුන් දහසකට පමණ රැඳී සිටින්න හැකිවෙන ආකාරයේ විශාල ගල් ලෙනක් තිබෙන බවත් ගම්වාසීහු කියති.

පුරාවිද්‍යා වටිනාකමක් ඇති ජාතියට අහිමිවී වනයට යටවෙමින් පවතින මෙම ඓතිහාසික ස්ථාන ප්‍රතිසංස්කරණය කර දෙස් විදෙස් සංචාරකයන්ට සහ පාසල් දරුවන්ට විවර කරදීමට ප්‍රාදේශීය සභාවේ අවධානය යොමු කරන ලෙස ඔවුහු ඉල්ලා  සිටිති.

මෙම ඓතිහාසික ස්ථාන රැක ගත යුත්තේ ඇයිද යන්න හුන්නස්ගිරිය නගරයේ පදිංචි එස්.එම්. සමරකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය. සෙංකඩගල පුර රාජධානියේ කීර්ති ශ්‍රී  රාජසිංහ රජතුමා රජ කරන  සමයේ 1765 පෙබරවාරි මාසයේදී ලන්දේසි ආණ්ඩුකාර ජාන් බැරන් වෑන් එක් සේනාවක් සමඟ පැමිණ මහනුවර නගරය අල්ලා ගත්තා. ඒ අවස්ථාවේ කීර්ති ශ්‍රී  රාජසිංහ රජතුමා ආරක්‍ෂාව සඳහා හඟුරන්කෙතට ගියා. දළදා වහන්සේ දුම්බරට වැඩම වීමට අවශ්‍ය කටයුතු කළා. ඒ අවස්ථාවේ එවකට සිටි අස්ගිරි මහනායක නාවින්නේ ධම්මදර්ශි හිමි ඇතුළු පිරිසක් දළදා වහන්සේ නවනාගල කන්දේ මහ වන මැදට වඩමවා 1765 පෙබරවාරි මාසයේ සිට මැයි මාසය තෙක් මාස 04ක කාලයක් දළදා වහන්සේ කන්ද මුදුනේ දෙමහල් මාලිගාවක තැන්පත් කරගෙන ආරක්‍ෂා කර තියෙනවා. අස්ගිරි නායක ස්වාමීන් වහන්සේ මාස 04ක කාලයක් කැලයක් මැද දළදා වහන්සේ ආරක්‍ෂා කරලීම ඉතා සුවිශේෂී සිද්ධියක්.

මෙයට වසර 256කට පෙර සිදුවූ මේ සුවිශේෂී සිද්ධිය යටපත් වෙන්නට ඉඩ දෙන්නට බෑ. හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය අයිනේ නවනගල කඳු පාමුල ස්ථානයක මේ විස්තර ඇතුළත් කර පුවරුවේ ඇති දේවල් බැලුවම මේ විස්තර දැන ගන්න පුළුවන්.

1604-1635 කාලයේ සෙංකඩගල නුවර රජ කළ සෙනරත් රජතුමා බලකොටුවක්, මාලිගාවක් සහ පොකුණු ඉදිකළ විත්තිය රාජාවලිය නමැති පැරැණි ග්‍රන්ථයක සඳහන් වී තිබෙනවා. සෙනරත් රජතුමා කන්ද මුදුන නම්කර තිබෙන්නේ ගලේනුවර කියලයි. රජතුමා කන්ද මුදුනේ ගලේනුවර ඉදිකර ඇත්තේ පෘතුගීසීන්ගෙන් ආරක්‍ෂා වීමට බව සඳහන් වෙනවා.

මෙම හුන්නස්ගිරිය කන්දේ නුගේතැන්න බෑවුමේ පිහිටි ගල්ලෙන් ආදී මානවයෝ හිටිය වෙන්නටත් පුළුවන්. ඒ පිළිබඳව සොයා බැලීම පුරාවිද්‍යාඥයන්ගේ වගකීමක්. මෙයට වසර 400කට විතර ඉස්සර වෙලා ගලේ නුවර ඉදිකළ බලකොටුව, මාලිගාව හා පොකුණු දැන් කැලෑවට යටවෙලා විනාශ වෙමින් තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති මේ බිම සංරක්‍ෂණය කිරීම එම ආයතනයේ වගකීමක්. මේ ස්ථාන දෙස් විදෙස් සංචාරක පිරිස්වලට නැරැඹීමට පහසුකම් ඇති කළ යුතුයි. කන්ද මුදුනට යෑමට තිබූ අඩි පාරවලුත් දැන් කැලෑවට යටවෙලයි තියෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 4372ක් උසින් පිහිටි මේ වගේ කන්දක් මුදුනේ මේ වගේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් තිබෙන්නේ මෙම ස්ථානය පමණයි.”

මේ පිළිබඳව අදහස් දැක්වූ උඩදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මඬුගල්ලේ මහතා: 

සංචාරක මාර්ගයක් වශයෙන් වැදගත් වෙන මහනුවර මහියංගණ මාර්ගයේ පිහිටි මේ ඓතිහාසික ස්ථානය විනාශ වීමට ඉඩ හැරීම ජාතික අපරාධයක්. මෙය සංරක්‍ෂණය කිරීමට වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. එසේ සංරක්‍ෂණය කර දෙස් විදෙස් සංචාරකයන්ට නැරැඹීමට ඉඩ සලසා දෙනවාට අමතරව පාසල් දරුවන්ට මෙහි ඇති ඓතිහාසික වැදගත්කම ගැනත් දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුව තිබෙනවා. එම නිසා මේ ගැන අපේ අවධානය යොමු කරන්න අපේක්‍ෂා කරන අතරම අදාළ අංශ දැනුවත් කිරීමට අපේක්‍ෂා කරනවා.”

හසලක – සුනිල් ඉහළගෙදර