සිමෙන්ති ගණන් ගිහින්: බ්ලොක් ගල් කර්මාන්තයත් කොට උඩ

0
44

බළන්ගොඩ – පියසේන එන්. හේවගේ

බළන්ගොඩ ප්‍රදේශයේ සිමෙන්ති බ්ලොක් ගල් හා ඒ ආශි්‍රත නිෂ්පාදනයේ යෙදුණු ආයතන රැසක් වැසී ගොස් ඇත. දැනට මේවා නිෂ්පාදනය කෙරෙන ස්ථාන කිහිපයක තොරතුරු සොයා බැලීමේදී සිමෙන්ති මිල වැඩිවීම, විදුලි අර්බුදය සහ ඉන්ධන මිල වැඩිවීම තදින්ම මෙම ව්‍යාපාරයට බලපෑම් කර ඇති බව පෙනී යයි. නිවාස ඉදිකිරීම් ආරම්භ කළ අයද මේ තත්ත්වය නිසා අසීරුවට පත්ව සිටිති.

බළන්ගොඩ, පින්නවල ප්‍රදේශයේ වසර 16ක පමණ බ්ලොක්ගල් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන ගිය එල්. ගුණදාස නමැති අය මේ පිළිබඳ දැක්වූ අදහස් මෙසේය. “එදා සිමෙන්ති මිටියක මිල රුපියල් 200ක් පමණ අඩු මිලකට පැවතුණා. එවකට බ්ලොක් ගලක් අලෙවි කළේ රුපියල් 17ක් සහ 18ක් වැනි මිලකටය. දැනට එය රුපියල් 85 දක්වා වැඩි කිරීමට සිදුවෙලා. මෑතකදී වරින් වර සිදුවූ අධික ඉන්ධන මිල වැඩිවීම නිසා ගල්කුඩු, චිප් ගල් සහ වැලි ආදිය අමුද්‍රව්‍යවල මිල වැඩිවී තිබෙනවා. විදුලිය කැපීම නිසා දිනකට වැඩ කරන කාලය පැය 4කට පමණ සීමා වෙලා. නිෂ්පාදනවල මිල වැඩිවීම නිසා අලෙවිය ඉතාම අඩුවෙලා. මෙම කර්මාන්තය රැක ගැනීමට කෝටා ක්‍රමය යටතේ හෝ සිමෙන්ති ලබාදුන්නොත් විශාල යහපතක් වේ. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි.

මෙවන් නිෂ්පාදන ආයතනයක සේවය කරන අජිත් කුමාර නමැති අය දැක්වූයේ මෙවැනි අදහසකි. “අපිට මුදල් ගෙවන්නේ නිෂ්පාදනය කළ ප්‍රමාණය අනුවයි. විදුලිය කපන වේලාව අපිට තේරුමක් නෑ. මිශ්‍රණය සිදුකළ පසු විදුලිය විසන්ධි වී යළි පැය 4කට පමණ පසුව විදුලිය ලැබෙන විට නිෂ්පාදනය සඳහා සූදානම් කළ මිශ්‍රණය ප්‍රයෝජනයට ගත නොහැකිව ඉවත දැමීමට සිදුවෙනවා. මේ දිනවල මා අලුයම 4ට පමණ ගෙදරින් ඇවිත් වැඩ ආරම්භ කරනවා. විදුලිය දිවා කාලයේ කැපීම නිසා නිෂ්පාදන ප්‍රමාණය අඩු වෙනවා. සමහර දිනවලට රුපියල් 600ක්වත් උපයා ගන්න වැඩ කරන්න බැරි වෙනවා. මෙම ස්ථානයේ මීට පෙර පස් හයදෙනකු වැඩ කළා. දැන් ඉතුරුව සිටින්නේ මා පමණයි. ඒ නිසා අපගේ ජීවන මාර්ග සලසා ගැනීමට පිහිටක් වනවා නම් හොඳයි. දරු පවුල රකින්න මේ දිනවල පුදුම සටනක යෙදී සිටිනවා.”