සන්තුට්ඨි පරමං ධනං

0
30

ලොව අප වෙසෙන්නේ දුක තුළය. “දුක්ඛේ ලොකෝ පතිට්ඨිතො” ලොව දුක් තුළ පිහිටා ඇත. දුක තුළ වෙසෙන අප සොයන්නේ සතුටයි. දුක හා සතුට දෙකම පුද්ගල චිත්ත ස්වභාවයකි. අප දකින, අහන, ආඝ්‍රාණය කරන, විඳිනු ලබන සියල්ල කෙරෙහි ඇති වන චිත්ත ස්වභාවයයි. අප අපේක්ෂිත අයුරින් සිදුවේනම් එය සතුටකි. අපේක්ෂිත අයුරින් සිදු නොවේ නම් එය දුකකි. ලොව ඇති ස්වභාවය නම් අප ළං කර ගැනීමට කැමැති දේ හැම විටම ළං නොවන අතර දුරු කරන්නට වෙර දරන දේ හැමවිටම දුරු නොවෙයි. ළංකර ගන්න වෙර දරන ලාභ, කීර්ති, ප්‍රශංසා, සැප, සතුට ලෙසත්, අලාභ, අපකීර්ති, නින්දා දුක්, අසතුට ලෙසත් අපි දකිමු. ලොව පවතින දුක සතුට අප දකින අයුරු විනා සත්‍ය නොවේ. 

අප ආලෝකය තිබෙන ස්ථානයක සිටින විට අප එක් කෙළවරක සිටියදී අපගේ සෙවණැල්ල අපට වඩා ගොඩක් විශාල වෙයි. අනෙක් අන්තයේ ඇති විට අපට වඩා කුඩා වේ. විශාල වීම, කුඩා වීම සත්‍ය නොවේ. අප මැද සිටියහොත් යම් තරමකට අපගේ ප්‍රමාණයේ සෙවණැල්ලක් දැක්ක හැකිය. ලොව පවතින දේ නොව අපගේ දැක්ම වෙනස් කර ගත යුතුය.  අප වත්මනෙහි කරනුයේ අපගේ දැක්ම වෙනස් කර නොගෙන අපට අවශ්‍ය ආකාරයට ලොව වෙනස් කිරීමයි. මෙය වෙහෙසකර කටයුත්තකි. අපහසු කටයුත්තකි. ඒ නිසා සතුට පලා යයි. දුක වැලඳ ගනියි.

බුදු දහම එය නොවෙයි. ලද දෙයින් සතුටු වන්නන් සඳහා බුදු දහම වන අතර ලද දෙයින් සතුටු නොවන්නන් සඳහා මේ ධර්මය හිමි නොවෙයි. එසේ නම් අප ලද දෙයින් සතුටු වන ආකාරයට අප අපගේ මනස සකස් කර ගත යුතුයි. බොහෝවිට අපට පෙනෙන්නේ අපේ නොහැකියාවට වඩා අනෙක් පාර්ශ්වයේ අඩුපාඩුය. ළිඳක මැණිකක් තිබේ. මැණික ගන්න පිරිසක් පැමිණෙයි. හැම දෙනා උත්සාහ කොට ළිඳ ගැඹුරුයි කියා පිටව යයි. එනමුත් ඒ කිසිවකුටත් නොදැනුණ දෙයක් වෙයි. ළිඳ නොව ගැඹුර තම අත දිග මදි වීමයි. මැණික සතුට සේ සිතුවොත් ඒ සතුට ලබා ගැනීමේ ශක්තිය නැත්තේ අප වෙතයි. මේ නිසා අප සතුට ලබාගැනීම සඳහා අප ශක්තිමත් විය යුතුයි. සාම්ප්‍රදායිකව අප තුළ පවතින චින්තනය නම් ලැබුණු දෙය කෙරෙහි සතුටු නොවීම, ලැබුණු දෙයෙහි ගුණ නොදැකීම, නොලැබුණ දෙය කෙරෙහි සිහින මැවීම, නොලැබුණ දෙය කෙරෙහි තැවීම, ඒ කෙරෙහි ආශාවෙන් කටයුතු කිරීම වෙයි. මේ සිතුවිලි පරම්පරාවෙන් යුක්ත වීම නිසා අප චිත්ත සන්තානය තුළ ආශාව, තරහ, ගුණමකු බව, අනුන් හා එකිනෙකට යමක් කිරීම, අනුන් සැපත සතුට නො ඉවසීම, රළු බව, මානය හා මඳය යන විවිධ අකුසල චෛතසික හට ගනියි. මේ සිතුවිලි කරණකොටගෙන හටගන්නා ක්‍රියාකාරකම්, වචන, සිතුවිලි තමන්ට හානි කරයි. අනුන්ට හානි කරයි. දෙපිරිසටම හානි කරයි. දුකසේ කිරීමට සිදු වෙයි. ප්‍රතිඵලය දුක් සහිත වෙයි. එම ක්‍රියා, වචන, සිතුවිලි පාපී වෙයි. එතැන සතුට නොව ඇත්තේ දුකකි. ඒ තුළින් සතුට සොයන්නට යන්නෝ තව තවත් දුක කරාම යති.

සතුට ලබන්නට අප කළ යුත්තේ මේ සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැර වීමයි. ලැබුණ දෙය කෙරෙහි සතුටු වීම, ලැබුණ දෙයෙහි ගුණ දැකීම, නොලැබුණ දෙය කෙරෙහි නොතැවීම, නොලැබුණ දෙයෙහි ආශාව නැතිකම, ලැබුණ දෙය කෙරෙහි ආශාව, බැඳීම නැති බව ආදී චිත්ත ස්වභාවයක් ගොඩනඟා ගත හැකි නම් ඒ තුළ යට කී නරක චෛතසික ගොඩ නොනැඟෙයි. යට කී පාපකර්ම නොසිදු වෙයි. නිතර සතුට පවතියි. මේ ක්‍රමයෙන් ලබන සතුට ලද දෙයින් සතුටු වීමයි.

අප ලබා ගන්නා මූලික අවශ්‍යතා ඇඳුම් පැලඳුම්, ආහාරපාන, නිවාස හා බෙහෙත් පිළිබඳව මේ කී ආකාරයෙන් සිතයි. අප ලබන ද්විතීයික අවශ්‍යතා පිළිබඳව මේ කී ආකාරයෙන් සිතයි. එවිට සතුට පවතියි. තැවීමක්, දුකක් නැත. සතුටු සිතින් ක්‍රියාකාරකම් කරයි. වචන කතා කරයි. සිතුවිලි උපදවයි. මෛත්‍රිය, කරුණාව, දයාව සියලු ක්‍රියාකාරකම්, වචන, සිතුවිලි තුළ පවතියි. ඒ තුළින් ඔහු සතුටු වෙයි. අන් අය සතුටු වෙයි. ඔහුත් අන් අයත් දෙපිරිසම සතුටු වෙයි. සතුටින් ක්‍රියාකාරකම් කරයි. වචන කියයි. ප්‍රතිඵලය සතුටින් භුක්ති විඳියි. ලද දෙයින් මෙසේ සතුටු වීම, පිනවීම, පිනකි.

ලැබුණ දෙයින් සතුටු නොවන වඩා හොඳ දේ සොයන සිතක් අපට වෙයි. මෙය  “අත්‍රිච්ඡිතා” නම් වෙයි. මෙය පුද්ගල අභ්‍යන්තර ගැටුම් හා බාහිර ගැටුම් නිර්මාණය කරයි. අත්‍රිච්ඡතාව ඇති විට එක සැළියේ පිසූ බතෙහිද තමාට ලැබුණ දෙයට වඩා විශේෂ දෙයක් අනෙක් අයට ලැබුණා යැයි සිතයි. තමාගේ දෙයෙහි ‍ෙදාස් දකියි. අනුන්ගේ දෙයෙහි විශේෂතා දකියි. ඛුද්දකවත්ථු විභංග අටුවාවෙහි එන එක් සිද්ධියක් වන්නේ එක්තරා භික්ෂුණියක් තමා ඇතුළු පිරිසට කැවුම් ලැබුණ පසු අනෙක් හැමෝගෙම කැවුම් පරීක්ෂා කොට අවසානයේ තමාට ලැබුණ කැවුමම අනුභව කළ කතාවකි. පෙර බරණැස් නුවර බරණැස් රජු තම රූමත් බිසවුන් හා කැලයෙහි ඇවිදින විට කි¾දුරියක් දැක බිසවුන් අතහැර කිඳුරිය පසුපස යයි. අනතුරුව රජුට බිසවද, කිඳුරියද දෙදෙනාම නැති වෙයි. මේ අයුරින් සිදුවන හානිකර තත්ත්වයන් වර්තමාන සමාජය තුළ වෙයි. මෙයින් වැළකිය හැකි ක්‍රමවේදය ලද දෙයින් සතුටු වීමයි.

ඊළඟ චිත්ත ස්වභාවය  “මහිච්ඡතාවයි”. කොතෙක් ලැබුණත් සෑහීමකට පත් නොවී තව තවත් බලාපොරොත්තු වන, මහත් මහත් දේ බලාපොරොත්තු වන, කොපමණ ලැබුවත් තව තවත් සොයන ස්වභාවය මහිච්ඡතා නම් වේ. තමාගේ ගුණ අනුන්ට දක්වන ස්වභාවය හා පිළිගැනීමේ හා පරිභෝගයේ පමණ නොදන්නා බව මහිච්ඡතාව ඇති අයගේ ලක්ෂණයෝය. කොපමණ දර දැමුවත් ගින්නට සෑහීමක් නැතිවාක් මෙන් කොපමණ ජලය ලැබුණත් සාගරයට සෑහීමක් නොවන්නාක් මෙන් මහිච්ඡතාව ඇති පුද්ගලයාට කොපමණ ප්‍රත්‍යාය ලැබුණත් සෑහීමකට පත් වන්නේ නැත. මේ සිතුවිලි ස්වභාව පුද්ගල හා සමාජ ගැටුම් ප්‍රති නිර්මාණය කරයි. ලැබුණ දෙයෙහි සෑහීමට පත් නොවීම, තව තවත් ලබා ගන්නට වෙර දැරීම, ඒ සඳහා විවිධ වූ උපක්‍රම භාවිතය මෙම ගැටුමට හේතු වෙයි. මහිච්ඡතාව නොමැති නම් මෙම ගැටුම් ඇති නොවෙයි. මහිච්ඡතාව නැති වන්නට නම් ලද දෙයින් සතුටු විය යුතුයි.

අත්‍රිච්ඡිතා, මහිච්ඡතා දියුණු වීම තුළ ගොඩ නැඟෙන්නේ පාපිච්ඡිතාවයි. දැඩි වූ ආශාව පදනම් කොට ගෙන ජීවත් වීම උදෙසා පාපකාරි වූ මං සෙවීම මෙම චිත්ත ස්වභාවය ඇති පුද්ගලයාගේ ලක්ෂණයි. බොරු සිල්, බොරු ශ්‍රද්ධා, බොරු ගුණ කියන ඔහු ඒ තුළින් ලාභ ප්‍රයෝජන ලබයි. ස්වර්ණ හංස ජාතකය මීට කදිම නිදසුනකි. එක් බමුණු පවුලක බමුණා මියදිණි. බැමිණිය හා ඇගේ දූවරු තිදෙනා පමණක් ජීවත් වෙති. යමක්කමක් තිබූ මොවුන් බමුණාගේ මිය යෑමෙන් දුප්පත් විය.

 මිය ගිය බමුණා හිමාලයෙහි රන් පිහාටු ඇති හංසයෙක්ව උපත ලබා ජාතිස්මරණය ඇත්තෙක්ව සිටියි. උෟ තමන්ගේ පෙර භවය බලන විට තම බිරිය හා දූවරුන් දුකසේ සිටින බව දැන ඔවුන් ඉන් මිදවීමට සතියකට වරක් විත් රන් පිහාටුවක් දමා යයි. එය විකුණා නිවැසියෝ තම අවශ්‍යතා ඉටු කර ගනිති. මෙසේ කිහිපවතාවක් වූ විට යම් හෙයකින් මේ හංසයා නොපැමිණියොත් අපට කිසිවක්ම නැති වේවි යැයි සිතු බැමිණිය දියණිවරුන් හා හංසයා අල්වාගෙන පිහාටු සියල්ල ගලවා ගත්තාය. හංසයාට හිරිහැර කර ලබා ගත් පිහාටු සියල්ල රන් නොවීය. හංසයාද ටික දිනක් ඒ නිවසෙහිම රැඳී සිට පිහාටු ආ පසු හිමාලයට ගිය අතර ඒ නිවෙසට යළිත් නොපැමිණියේය. ලද දෙයින් සතුටු නොවූ නිසා බැමිණිය ඇතුළු පිරිසට යළි ජීවත් වීමේ ගැටලුවක් මතුවිණි.

අප සමාජය තුළද මෙවන් දේ සිදු වෙයි. අධික තෘෂ්ණාව නිසා අපට උපකාරි වන පරිසරය අපි විනාශ කරමු. එහි අනිටු ප්‍රතිවිපාක අපි ලබමු. අධික තෘෂ්ණාව නිසා පවුල් ආරවුල් ගොඩ නැඟෙයි. සමාජ ගැටලු සියල්ලම පාහේ අධික තෘෂ්ණාවෙහි ප්‍රතිවිපාක වෙයි. පඤ්චශීල ප්‍රතිපදාව අපෙන් ගිලිහී යන්නේ අධික තෘෂ්ණාව පදනම් කරගෙනයි. මේ නිසා අප අපේ ජීවත් වීම උදෙසා, අපේ සතුට උදෙසා කටයුතු කරද්දී භෞතික හා මානව පරිසරයට හිරිහැරයක් නොවන අයුරින් කටයුතු කළ යුතුයි.  “යම් සේ බඹරා මල්වලටත් ඒවායේ වර්ණයටත් සුගන්ධයටත් හානියක් නොවන ලෙස මල්වලින් රොන් ගෙන යන්නේද, එසේ  කිසිවකුට හානියක් නොවන පරිදි අපගේ ඉපයීම් කටයුතුවල නිරත විය යුතුයි.” එවිට ජීවිතයට සැමදා සතුට ලැබෙයි. අප ලැබිය යුතු අනවජ්ජ සුඛය එයයි.

මේ සඳහා අප අනුගමනය කළ යුත්තේ ලද දෙයින් සතුටු වීමයි. අර්ථ කුසලයක් අත්පත් කරගන්නා තුළ මෙම ගුණය තිබිය යුතු බව  “සන්තුස්සකො” කරණිය මෙත්ත සූත්‍රය ප්‍රකාශ කරයි. ලද දෙයින් සතුටු වීම පුද්ගලයාට උරුම කර ගත හැකි මහා ධනයකි.  “සන්තුට්ඨි පරමං ධනං” ධම්ම පදයේදී ප්‍රකාශ කරයි. ලද දෙයින් සතුටු වෙමු. දිවි මඟ සතුටු කරවමු. ආශා පිටුදකිමු. උතුම් නිවනින්ම සැනසෙමු.

 විල්ඔය  පඤ්ඤාතිලක ස්ථවිර