විසඳුවේ නැත්නම් අඛණ්ඩ වර්ජනයක්

0
16

කොළඹ ජාතික රෝහල හා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ආරම්භ කළ දෙදින සංකේත වැඩ වර්ජනය අද (31දා) රාත්‍රි 12 දක්වා පැවැත්වෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති අෑපා ඊයේ (30දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් විසින් සිදුකරන විකිරණ ආරක්ෂණ රාජකාරි හා තත්ත්ව පාලන රාජකාරි භෞතික විද්‍යාඥයන්ට පැවැරීමට එරෙහිව මෙම සංකේත වර්ජනය සිදුකරන බවද ධර්මකීර්ති මහතා කීය. මෙම කටයුත්ත මේ වන විටත් ජාතික රෝහලේ හා කුරුණෑගල රෝහලේ ක්‍රියාත්මක බැවින් ඊට විරෝධය පළ කරමින් එම රෝහල් දෙකෙහි පමණක් වර්ජනය ක්‍රියාත්මක කළ බව කී ලේකම්වරයා මීට පෙරද වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙමින් මීට විරෝධතාව පළ කළ බවද කීවේය.

මෙසේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ රාජකාරියේ කොටසක් තවත් පිරිසකට ලබාදීම තුළ වියදම වැඩිවන බවද ඒවා නොසලකා මෙම පියවර ගැනීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බවත් කී ඔහු වහාම මේ තත්ත්වය වෙනස් නොකළහොත් අඛණ්ඩ වර්ජනයකට එළැඹෙන බවද කියා සිටියේය.

විනීතා  එම්. ගමගේ