මන්නාරමෙන් රටට රිංගු කෝටි 5ක අයිස්

0
34

දකුණු මුහුදු තීරයට දිගින් දිගටම බහුදින යාත්‍රා ඔස්සේ ගෙන්වන මත්ද්‍රව්‍ය පසුගිය දිනවල පොලිස් විශේෂ කාර්ය බළකායට, ශ්‍රී ලංකා නාවික හමුදාවට හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට කොටුවීමත්, එම බහුදින යාත්‍රාවල ක්‍රියාකාරීන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෑතක සිට මත්ද්‍රව්‍ය තොග උතුරු වෙරළට රැගෙන ඒමට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පිරිස් කටයුතු කර ඇති බව මෙම වැටලීමේදී හෙළිවී තිබේ.

මේ පිළිබඳව අවධානයෙන් සිටි විශේෂ කාර්ය බළකාය උතුරු මුහුදු තීරයේ බුද්ධිමය කටයුතු ව්‍යාප්ත කර තිබිණි. මේ අතර බස්නාහිර උතුර ප්‍රදේශය භාරව කටයුතු කරන ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් පිරිසක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම අනාවරණය කරගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බණ්ඩාරනායක වට රවුම අසලදී කෙරුණු වැටලීමකදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 900ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවී තිබේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී පණිවුඩ හුවමාරු කිරීම සඳහා යොදා ගත් ජංගම දුරකථන 2ක්ද පොලිසිය භාරයට ගෙන තිබේ. අවුරුදු 41ක් හා 43ක් වයසැති මොවුන් දෙදෙනාම මන්නාරම හා වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. රුපියල් කෝටි 5කට ආසන්න ‘අයිස්’ මත්ද්‍රව්‍ය මොවුන් මන්නාරමේ සිට කොළඹට ගෙනැවිත් ඇති ‘ටාටා’ වර්ගයේ ට්‍රක් රථයක්ද විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී උතුරු මුහුදට ගෙන එන මත්ද්‍රව්‍ය තොග මෙසේ කොළඹ සිටින ගැනුම්කරුවන්ට ලබාදීම සඳහා රැගෙන පැමිණි බව ඔවුන් පවසා තිබේ.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, බස්නාහිර උතුර භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. එම්. එන්. කේ. මාරසිංහ ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ. 

කීර්ති මෙන්ඩිස්