මගේ පුතා මියගියේ මිතුරෙක් අන්තර්ජාලයට නිරුවත් පින්තූරයක් දැමීමේ සිත් තැවුලෙන්

0
18

කොළඹ _ ජයසිංහ

චරිතයට හානි කරන බවට කිසියම් පුද්ගලයකු තර්ජනය කිරීම  දරාගත නොහැකිව පුතාගේ මරණය සිදු වූ බවට පැහැදිලි සාක්ෂි තිබෙන බවත් එම පුද්ගලයා  අනාවරණය කරගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් බණ්ඩාරගම ගුන්ගමුව  ප්‍රදේශයේ පියෙක්  පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාට ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇත. 

2021-10-11  වැනි දින නිවෙස තුළදී ගෙල වැලලාගෙන සීය දිවි හානි කරගත් අශේන්  ඉසුරු වික්‍රමාරච්චි නමැති 16 හැවිරිදි පාසල් සිසුවාගේ පියා වන මෝලි වික්‍රමාරච්චි මහතා එකී පැමිණිල්ල සිදුකර ඇත. 

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලිඛිතව ඉදිරිපත් කරන ලද  පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ. “මාගේ පුතාගේ මරණයට හේතුව ජංගම  දුරකථනයෙන් වීඩියෝ ක්‍රීඩා කර පරාජය දරාගත නොහැකිව යැයි බණ්ඩාරගම පොලිසිය ක්ෂණිකව තීන්දු කළ අතර විද්‍යුත් මාධ්‍යයේ හා සමාජ මාධ්‍ය ජාලාවලද ඒ අයුරින් ප්‍රචාරය විය. පුතුගේ මරණය සිදු වූදා සිට ඔහුගේ  ස්මාර්ට් වර්ගයේ දුරකථනය මාස දෙකක පමණ කාලයක් බණ්ඩාරගම පොලිසිය භාරයේ තිබූ අතර පසුව එය මා විසින් ලබා ගන්නා ලදී. මීට දින කිහිපයකට ඉහතදී මාගේ ඥාති දියණියක විසින් දුරකථනයේ අභ්‍යන්තර දත්ත පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයකු තරුණියකගෙ වෙස්ගෙන පුතා හා මිතුරු වී ඉතා සූක්ෂ්ම ලෙස ඔහුගේ නිරුවත් ඡායාරූපයක් ලබාගෙන අනතුරුව ඔහු කොල්ලෙක් යැයි පවසා  පුතුගේ නිරුවත් ඡායාරූපය මුළු ලංකාවෙම ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් එසේ නොකිරීමට නම්  වරින් වර මුදල් මෙන්ම අන්තර්ජාල කාඩ්පත්ද කප්පම් වශයෙන් ලබාගෙන තිබූ බව පැහැදිලිව සටහන්ව තිබිණි. 

ඉන්ස්ටර්ග්‍රෑම් තාක්ෂණය හරහා මාගේ පුතු හා තරුණියකගේ වෙස්ගෙන සම්බන්ධව තිබූ එම පුද්ගලයා  වරින් වර පුතුගේ ජංගම දුරකථනයට යොමු කරන ලද කෙටි පණිවුඩ දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගතව තිබියදී සොයා ගැනීමට හැකිවිය. පුතුගේ ජංගම දුරකථනය තවදුරටත් පරීක්ෂා කිරීමේදී පුතුගේ ක්‍රීඩා ගිණුම්, මුහුණු පොතේ ගිණුම් ආදී  සියලු දේ ඇපයට තබාගෙන විවිධ අයුරින් පරුෂ වචන පවා භාවිත කරමින් එම පුද්ගලයා මගේ පුතු මානසිකව පීඩාවට පත්කර  පුතුට සියදිවි නසා  ගැනීමට තරම් අන්ත අසරණ භාවයට පත්කර ඇති අයුරු  එම කෙටි පණිවුඩ සියල්ල හොඳින් පරීක්ෂා කිරීමේදී  ඔබතුමාටද අවබෝධ කරගත හැකි වේ යැයි විශ්වාස කරමි. එම පුද්ගලයා මාගේ පුතුගේ ජංගම දුරකථනයට ඉන්ස්ටර්ග්‍රෑම්  තාක්ෂණය ඔස්සේ යොමු කරන ලද කෙටි පණිවුඩවල ඡායාරූපවල ඡායාපිටපත්ද  ඔබතුමාගේ අවධානය සඳහන් වේ සමඟ ඉදිරිපත් කරමි. මාගේ එකම පුතුගේ වියෝව  මා මෙන්ම මාගේ බිරියටත් මුළු ජීවිත කාලයටම  දරාගත නොහැකි වේදනාවකි.