පිලිප් අපේ දේශපාලන ඉතිහාසයේ වීරයෙක්

0
25

තරිඳු නානායක්කාර    

ඡායා – සරත් කුමාර

දේශීයත්වය අගය කරමින් එයට මූලිකත්වය ලබා නොදී කටයුතු කළහොත් තව දුරටත් සිදුවන්නේ පිටරටින් නැව් එනතුරු බලා සිටින්නට සිදුවීම බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පැවසූහ.

පසුගිය 29 වැනි දිනට යෙදී තිබුණු පිලිප් ගුණවර්ධනයන්ගේ 50 වැනි ගුණ සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයෙහි පසුගියදා පැවැති ගුණ සැමරුමට සහභාගි වෙමින් විමලධම්ම හිමියෝ මෙසේ සඳහන් කළහ.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ද කීහ.

බොහොම අමාරුවෙන් ලොකු කන්දක් නැඟපු මනුස්සයෙක් විදිහට පිලිප් ගුණවර්ධන මහත්තයා හඳුන්වලා දෙන්න පුළුවන්. එතුමට පවුලෙන් පැවරෙන ඉඩකඩම් විශාල ප්‍රමාණයක් තිබුණත් ඒ සියල්ල ගැන හිතන්නැතිව තමයි මේ රටේ දේශපාලනයට සම්බන්ධ වෙලා කටයුතු කළේ.

පිලිප් ගුණවර්ධනගේ තාත්තාට මරණ දඬුවම ලැබුණු අවස්ථාවක උසාවියට ලිපියක් ලියාගෙන ගිහිල්ලා ඒ ලියුම හැමෝම ඉදිරියේ කියවලා තමන්ගේ තාත්තාව බේරගත්තු නායකයෙක් තමයි එතුමා.

“සුද්දෝ මේ රටින් පලයව්. මේ රට අපිට දීපියව්” කියලා ඔවුන් එක්ක සටන් කරමින් මෙරට සෙසු නායකයන්ද සමඟ අභීත ගමනක නිතර වූ පුද්ගලයෙක්, වීරවරයෙක් විදිහට පිලිප් ගුණවර්ධනයන් ඉතිහාස ගත වෙනවා.

ලංකාවට ඉතා වැදගත් කුඹුරු පනත පිළිබඳව දැඩි තීන්දු තීරණ ගනිමින් කටයුතු කළ එතුමා බණ්ඩාරනායක මහත්තයාගේ කාලයේදී පාර්ලිමේන්තුවට පවා එය ඉදිරිපත් කරමින් අවශ්‍ය කටයුතු සිදු කළා.

එදා පිලිප් ගුණවර්ධනලා වගේ නායකයෝ මේ රටේ යහපත වෙනුවෙන් විශාල සේවාවක් සිදු කළත් වත්මන් පාලකයන් මේ රට එහාට මෙහාට පද්දනවා විතරයි. ඒක එදා ඉඳලම වර්තමානය දක්වා එන ගමනේදි විවිධ කාලවකවානුවලදී පාලකයන් සිදුකළ දෙයක්.

පිලිප් ගුණවර්ධන මහත්තයලා ඒ කාලයේ ඉඳලම පෙන්නල දුන්නේ රටට අවශ්‍ය දේවල් මේ රටේම නිපදවා ගන්න කියලා. එහෙම නැතිනම් රටක් හැටියට ඉදිරියට යන්න බෑ කියලා පෙන්නලා දුන්නා.

ඒ වගේ වටිනා චරිත පිළිබඳව වත්මන් පාලකයොන්ටත් පෙන්නලා දිය යුතුයි. මේක විය යුතුම දෙයක්. එය අනාගත පරපුරට ඉතාමත් වටින දෙයක්.

ජේ‍යෂ්ඨ වාරි ඉන්ජිනේරු ඇන්ටන් නානායක්කාර.

කැලණි ගංගා ද්‍රෝණියේ බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය, ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රමුඛතා මහා පරිමාණ, සංවර්ධන යෝජනා ක්‍රමය විය යුතුයි. අගනුවරට මායිම්ව ප්‍රධාන ගංගා ගලා බසින ලොව පුරා රටවල, හොඳම සංවර්ධන කලාප එම ගංගා දෙපස දක්නට ලැබෙද්දී, කොළඹ වාණිජ අග නගරය අසලින් ගලා බසින කැලණි ගඟට අප කර ඇත්තේ කුමක්ද?

කැලණි නිම්න බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයක් පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කර ඇත්තේ පිලිප් ගුණවර්ධන මහතායි. ඔහු 1937 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට මේ පිළිබඳ විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණා.  

 මහාචාර්ය ගාමිණි සමරනායක.

ශ්‍රී ලංකාව බොහෝ ප්‍රතිපත්ති සම්පාදනය කර තිබුණද ඒවා පරිවර්තනීය වෙනසක් වන, අයුරින්, ක්‍රියාත්මක කර නෑ. පිලිප් ගුණවර්ධනයන් කුඹුරු පනත ඉදිරිපත් කර අඳ ගොවි අයිතිය තහවුරු කිරීමේදී ඊට පැමිණි විරෝධතා මැඬගෙන එය පරිවර්තනීය වෙනසක් වන ලෙස ක්‍රියාත්මක කිරීම, මෙම තත්ත්වය වෙනස් කළ, ඉතිහාසයේ වැදගත් උදාහරණයක් වෙනවා.

පිලිප් ගුණවර්ධන ගුණානුස්මරණ සංගමයේ යදාමිණි ගුණවර්ධන. 

සියවසකට ආසන්න කාලයකට පෙර රාජ්‍ය මන්ත්‍රණ සභාවට ප්‍රථමයෙන්ම තේරී පත්වුණ දිනයේ සිට,  තමන් තෝරා පත්කර ගත්, කැලණි මිටියාවතේ ජනතාව වෙනුවෙන් ඒ වගේම සුවහසක් ශ්‍රී  ලංකාවාසීන් වෙනුවෙන්, කැලණි නිම්න සංවර්ධනය සඳහා බහුකාර්ය යෝජනා ක්‍රමයේ මූලික අදහස 1937 වගේ අෑත කාලයේ පිලිප් ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කළා. අද වෙනකම් එය වරින් වර පෝෂණය කරමින්  මේ රටේ ඉන්ජිනේරුවන් විශේෂයෙන් වාරි ඉන්ජිනේරුවන් ඒ යෝජනාව  ඉදිරියට ගෙනයමින් සිටිනවා.