පාලම හන්දිය කුඩා නගරය ගැන බලධාරීන් තවමත් හිතන්නේ පොඩියට

0
14

හසලක – සුනිල් ඉහළගෙදර

හසලක, පාලම හන්දිය කුඩා නගරය කරා එන ජනතාවට අවශ්‍ය පියවර නොගැනීම නිසා මෙම නගරයට පැමිණෙන ජනතාවට විවිධ අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුවී ඇත.

මෙම නගරයේ මිනිපේ විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ මහජනතාවට එදිනෙදා අවශ්‍ය දෑ ලබාගැනීමට හැකි පෞද්ගලික ආයතන ගණනාවක් හා රථ වාහන අලුත්වැඩියා කරන ආයතන රාශියක් පිහිටා තිබේ. මේ නිසා තම අවශ්‍යතා ඉටුකර ගැනීමට ගම්වාසීහු මෙම නගරයට නිතරම පැමිණෙන අතර ඒ නිසාම නගරය ජනතාවගෙන් පිරී පවතී.

මෙයට අමතරව මිනිපේ ගොවි ජනපදයේ පළමු පියවරේ ජනතාවට මහනුවර හා කොළඹ දෙසට හෝ අම්පාර, සිරිපුර, දෙහිඅත්තකණ්ඩිය, බිබිල, මොනරාගල වැනි නගර කරා යෑමට ඇවැසි බස් රථයක් ලබා ගැනීමට නම් මෙම නගරයට පැමිණිය යුතුය. එයට හේතුව වන්නේ පාලම හන්දිය නගරය කොළඹ – කල්මුණේ නොනිදන ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබීමයි. එම නිසා මෙම නගරයද නොනිදන නගරයක් කීවොත් නිවැරැදිය.

නගරයට එන ජනතාව හදිසියකදී ප්‍රයෝජනයට ගැනීමට පානීය ජල පහසුකම් හෝ වැසිකිළි කැසිකිළි පහසුකම් මෙම නගරයේ ඇත්තෙම නැත. එම අවශ්‍යතාවක් පැනනැඟුණහොත් අසල තේ කඩයක හෝ වෙනත් ආයතනයක පිහිට පැතීමට ඔහුට හෝ ඇයට සිදුවනු ඇත. එය දිවා කාලයේ කෙසේ වෙතත් රාත්‍රි කාලයේ නම් උගහටය. මෙම ගැටලුව එවැනි අවශ්‍යතා ඇති වූ එම අය දැඩි ලෙස පීඩාවට පත්කරවන්නක් බව මිනිපේ අඹගහපැලැස්ස ගමේ පදිංචි ආර්.ජී. රංජිත් කුලතුංග මහතා සඳහන් කරයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙම නගරය භාර මිනිපේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි ඩබ්ලිව්.ඒ. වීරසූරිය මහතාගෙන් විමසීමේදී ඔහු පැවැසුවේ ගැමියන් පීඩාවට පත්කරවන මේ ගැටලුව ඇත්තක් බවත් පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට වැඩපිළිවෙළක් සැපයීමට හැකි වුවත් වැසිකිළි කැසිකිළි ඉදිකිරීමට සුදුසු බිම් කොටසක් සොයා ගැනීමේ ගැටලුවක් පවතින බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන් මේ වන විට ප්‍රාදේශීය සභාවේ සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වෙතත් කරුණු දක්වා ඇති බවත් ඉඩම් ගැටලුව විසඳුණු වහාම ගැමියන් පත්ව සිටින අපහසුතාවට පිළියම් ලබාදීමට තමන් කටයුතු කරන බවයි.