පාන් නැත්නම් කේක් කාපල්ලා

0
134


රෝමයේ තුන්වැනි අධිරාජයාගේ නම ගයුස් ජුලියස් කසාර් ඔගස්ටස් ජර්මනීසියස්ය. මේ පාලකයා රෝම ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වූයේ “කලිගියුලා” යන නමින්ය. කලිගියුලා කැමැති වූයේ ‘මං පොර’ න්‍යායෙන් වැඩ කරන්නටය. මුළු භාණ්ඩාගාරයම තිබුණේ ඔහු යටතේය. කලිගියුලා වසරක් තුළ නාස්ති කළ මුදල රෝම සෙස්ටර්ටියුස් 2,700,000,000කි. එකී මුදල මුළු රෝමයේ ආදායමෙන් 50%කි.

ජීවත්වීමට තරම්වත් යමක් උපයා ගන්නට නොහැකි ජනතාවට බදු ගෙවා ගැනීමට නොහැකි වූ කල ඔහුගේ පාලනය විසින් කුරිරු ලෙස ඝාතනය කර දැමීය. රූමත් කාන්තාවන් සහ පිරිමින් හුවමාරු කරගැනීමේ පදනම මත වංශවතුන්ට සූදු ක්‍රීඩා හ¾දුන්වා දුනි. ඉන් නොනැවතී දුගී ජනතාවගේ ඉඩම් තමන්ගේ ඥාතීන්ට පවරාදෙනු ලැබූ අතර වීර්යයෙන් නැඟිටින ව්‍යාපාරිකයකු වෙත්නම් ඔහුගේ ව්‍යාපාරය උපායශීලීව තමා වෙත හෝ තම හිතවතුන් වෙත පවරා ගැනීම සිදු කෙරිණි.

කලිගියුලාගේ කැමැත්ත සහ ඔහුට පහළ වූ අදහස රටේ නීතිය බවට පත්කෙරූ අතර අධිකරණය තමන්ගේ හිතු මනාපෙට තම පාලනය යටතට ගත්තේය.

ඔහු රටේ ජනතාවට වඩා තමන්ගේ අශ්වයන්ට සැලකුවේය. ජනතාවගෙන් අය කළ බදු මුදල්වලින් තම අශ්වයන්ට රන්, මිණි, මුතු, ඇත්දළ, ආභරණ පැලඳවීය. රනින් නිම කළ ලාඩම් පැලඳවීය. අශ්වයාගේ සම පැහැපත් කරගන්නට උෟට ලබාදෙන ධාන්‍යවල රන් ආලේප කර ලබා දුන්නේය.

අවසානයේ “ඉන්සිටේටස්” අශ්වයාට තානාපති ධුරයක් පවා පිරිනැමීය. එකී තනතුර එවකට රෝමයේ සෙනෙට් සභික තනතුරකට සමානය. රෝම ඉතිහාසයේ කළුපාට යුගය නිර්මාණය කළේ ඔහුය.

කලිගියුලා මුලින්ම කළේ ඊනියා දේශානුරාගයකින් ජනතාව උන්මාදයට පත් කරන එකය. තමන් රෝමය රකින දෙවියා බව ඔහු ඒත්තු ගැන්වීය. ඒ වෙනුවෙන් අති විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. තම සමීපතම නෑදෑ සනුහරයට වගකිවයුතු සියලු සම්පත් ලබා දුන්නේය. මුළු ලෝකයම තමාව විනාශ කිරීමට සිහින දකින බවත් ඒ කුමන්ත්‍රණවලින් තමාව ආරක්ෂා කිරීම සියලුදෙනාගේ වගකීම බවත් කලිගියුලා කීවේය.

කිසිවකුටත් තම රට අල්ලන්නට ඉඩ නොදෙන බව ඔහු දෑතින් පපුවට ගසා ගනිමින් කීවේය. ලොකුම විහිළුව වූයේ ඔහු අල්ලනු තබා අල්ලන්නට හිතන්නවත් කෙනෙක් එවක නොසිටීමය. ඒ තරමට එකල රෝමය දුප්පත්ය.

එහෙත් ස්වකීය බල ව්‍යාපෘතිය වෙනුවෙන් කලිගියුලා බේගල් පුරවමින් ජනතාවගේ අනුකම්පාව දිනාගත්හ.

බොහෝ පාලකයන් එහෙමය. බලය ලබාගන්නා තෙක් සියලු ආකාරයේ රැවටිලි කරන ඔවුන් ඊට පසු සියල්ල අමතක කර දමයි.

එහෙම ජනතාවට සුරංගනා ලෝක සහ අසාමාන්‍ය මැජික් ලෝක මවා පෙන්වා ඊට වඩා හාත්පසින්ම වෙනස් පාලනයක් ගෙන යන පාලකයෝ සිටින රටකි ලංකාව.

මීට වසර දෙකකට පෙර මවා පෑ රට වෙනුවට අද ඇත්තේ බංකොලොත් බවේ මුවවිටට ආ රටකි.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ නවතම උද්ධමන වගුවට අනුව ශ්‍රී ලංකාව හයවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

ස්ටීව් හැන්කි මහතාගේ උද්ධමන වගුවට අනුව 14.2%ක්ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 55% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

මහාචාර්ය ස්ටීව්ට අනුව ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා ක්‍රියාත්මක මුදල් මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළ උද්ධමනයට කදිම විස¾දුමක් සොයාගත හැකි බව ස්ටීව් හැන්කි මහතා පෙන්වා දෙයි.

විශේෂ කාරණය නම් මීට පෙර මහාචාර්ය හැන්කි මහතාගේ උද්ධමන වගුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොතිබීම සහ මෙවර එම උද්ධමන වගුවට ශ්‍රී ලංකාව හයවැනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇතුළත් වී තිබීමය.

ශ්‍රී ලංකාව විසින් චීනයෙන් ලබාගෙන ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කරදෙන ලෙස ශ්‍රී ලංකාවෙන් කර ඇති ඉල්ලීම චීනය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

නමුත් එම ණය ගෙවීම සඳහා තවත් ණය මුදලක් ලබා දීමට චීනය යෝජනා කර ඇත.

ඒ අනුව මෑතක ගෙවිය යුතුව ඇති ණය වාරික ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා දීමට චීන රජය එකඟතාව පළ කර ඇත.

මෙම බිලියනයක මුදල සම්පූර්ණයෙන්ම චීන ණය ආපසු ගෙවීම් සඳහා යෙදවීමට සිදුවෙයි. ඊට අමතරව නව ණය සඳහා පොලියක්ද එකතු වනු ඇත.

කෙටියෙන්ම කීවොත් දැන් ලංකාවට කට උත්තර නැත.

මේ මහා ව්‍යසනය අතරේත් ජනතාවට කැපකිරීම් කරන්න කියන්නේ පාලකයෝය. හැබැයි පාලකයෝ රජ සැප විඳී.

“පෝලිම්වල දුක් විඳින්නේ සාමාන්‍ය මිනිස්සු. අහිංසකයෝ. එක ඇමැතියෙක් ඉන්නවාද පෝලිමක.”

වරු ගාණක් පෝලිමේ සිටින මිනිස්සු වේදනාවෙන් එහෙම කියයි. සෑම මිනිසෙක්ම පාලකයන්ට හෙණ ඉල්ලයි. සාප කරයි.

ඒ කිසිවක් ගැන වගේ වගක් නැති ඇමැතිවරුය. ඔවුන්ගේ බිරින්දෑවරුය. හිතමිතුරන්ය.

මාකෝස් හිටපු පිලිපීන ජනාධිපති. එයාගේ බිරිය ඉමෙල්ඩා මාකෝස්. එයාට බොහෝදෙනා කීවේ. ‘යකඩ සමනලිය’ කියලාය.

‘අපේ රටේ උන් ලස්සනට කැමැතියි. මං තරුවක් වෙලා ලස්සනට හිටියොත්, හිඟන රටවැසියෝ උන්ගෙ මුඩුක්කුවල ඉඳන් බලලා සතුටු වෙයි. මිනිස්සුන්ට සතුට ගේන එක මොනතරම් හොඳද, ඔය සමහරුන්ගේ චෝදනා වැරදියි. සත්තකින්ම මට සපත්තු කුට්ටම් තුන්දාහක් තිබුණේ නෑ. මට තිබ්බේ එක්දාස් හැටක් පමණයි. අනේ මං ඉන්ටර්වීව් දෙනවට මගේ සැමියා මාකෝස් කැමැති නෑ. කතා නොකරන තරමට ප්‍රශ්න අඩුයි කියලා එයා කියනවා. ‘කොහොම වුණත් දිනුවත් – පැරදුණත් ඡන්දෙන් පස්සෙ අපි සාප්පු සවාරි යනවා’

මාකෝස්ගේ බිරිය වගේ බිරින්දෑවරු ලංකාවෙත් සිටී.

ඕස්ට්‍රේයානු රජ කුමරියකු වූ මාරි 16 වන ලුවී රජුගේ රැජන බවට පත්ව සිටියාය. එකල පීඩාව දරාගන්න බැරිව ගොවීන් සහ ජනතාව වීදි බැස ආණ්ඩුවට විරෝධතාව දැක්වූහ. ගොවියන් පාන් ඉල්ලා කෑ ගසන බව ඇසූ මාරි අන්තුවනෙත් “කිල් මොන්ෂ් ද ල බ්‍රයාශ්” යැයි කී බව කීවාය. ඒ කියන්නේ “පාන් නැත්නම් කේක් කාපල්ලා” යැයි යනුවෙනි. 

ඇයගේ එම ප්‍රකාශයෙන් දෙවසරකට පසු ලුවී රජුගේ අත්තනෝමතික පාලනයට එරෙහිව පැන නැඟුණු ප්‍රංශ විප්ලවය 1789දී ජය ගත්තේය. අත්අඩංගුවෙන් පැන ඕස්ට්‍රේයාවට පැන යෑමට උත්සාහ කළ 16 වන ලුවී රජුද මාරි අන්තුවනෙක් රැජනද දේශද්‍රෝහී චෝදනා මත ගිලටීනයට හසුවිය.

දැන් ලංකාවේ ජනතාව ඉන්නේ බිංදුවටම වැටිලාය. ජීවිතය ගැන සියලු බලාපොරොත්තු ශූන්‍ය වී යන තැනට වැටිලාය. පැය දහයක් කරන්ට් නැති අඳුරු රටකි.

මිනිස්සු තවමත් ඉවසගෙන ඉන්න එක ගැන පාලකයෝ සතුටු විය යුතුය.

මේඝනාද