දේශප්‍රේමී බුද්ධාගම

0
29

ලබුත් තිත්ත වන අබුද්දස්ස කාලයේ බුදුවරු පහළ නොවෙති. ඒ කතාව නිවැරැදි නොවන බැව් දැන් දැන් මනාව පළ වෙයි. මන්ද යත් මෙකල්හි බුදුවරුන් බුරුතු පිටින් බිහි වෙමින් සිටින බැවිනි. 

බණ පොතේ කියන හැටියට, තවම අබුද්ධෝත්පාද කාලය හෙවත් අබුද්දස්ස කාලය පැමිණ නැතද, දෙදහස් පන්සියය ගෙවී ඇති මෙසමය අබුද්දස්ස යුගයකැයි ජන වහරෙහි හැඳින්වෙයි. 

බුදුහාමුදුරුවන්ගේ කාලයේදීත් කොතෙකුත් බොරු බුදුවරු වූහ. එහෙත් ඒ ව්‍යාජ බුදුවරුන් හිරු දුටු ක‍ෙ¼දා්පැණියන් සේ මැකී ගියේ සම්බුද්ධ මහිමයෙනි. තමා බුදුනැයි සිතා සිටි නිගන්ඨනාථ පුත්‍ර හෙවත් වර්ධමාන මහාවීර සිය ප්‍රධාන ගිහි සිසුවර උපාලි සිටුවරයා බුදුන් හා වාදයට යැව්වේ බුදු හිමියන් තම පසට දිනාගෙන එන්නටය. එපුවත ගුරුළුගෝමීන් සිය අමාවතුරෙයි දක්වන්නේ මෙබසිනි. 

“උපාලි මහාසිට් මහණ ගොයුම්හුගෙ සවු වන්නට නොනිස්සැ. මහණ ගොයුම් උපාලි මහසිට්හුගෙ සවු වන්නට නිස්සැ. තො යා, මහ සිට.” 

බුදුහිමි නැති කල බුදු බණ රැකගත යුත්තේ බුදු සව්වන් විසිනි. ඒ කාරියට බුදු සව්වන් සුදුසු වන්නේ ඔවුනට බුදුහිමියන් අනුදැන වදාළ විනය රැකීම හේතුවෙනි. ශාසනය පවතින්නේ විනය නිසාය. ශාසනයේ පණ ඇත්තේ විනය තුළය. විනය ශාසනයේ ආයුෂ වෙතැයි “විනයෝ සාසනස්ස ආයූ” බුදු හිමියන් කීවේ එබැවිනි. මෙතැන තියෙන්නේ බුදු හිමියන් පැන වූ විනය මිස, විනය වර්ධනකාරයන්ගේ විනය නොවෙයි. 

විනයෙන් පිට පැන්න විට සිදුවන්නේ කිමෙක්ද? විනාශය හෙවත් පරිහානිය පමණි. බුදු සව්වන් මුලින්ම විනයෙන් පිට පැන්නේ අඟල් දෙකකිනි. “ද්වංගුල කප්ප” යැයි කියන ලද්දේ එහෙයිනි. එහෙත් දැන් දැන් පිට පැන ඇත්තේ කිලෝමීටර ගණනිනි. 

එතැන ඇති වන හිදැසටය’ අලුතෙන් බුදුවරු එන්නේ. ඒ නම්, වඳුරඹ සිරිවර්ධන බුදුන් ඇතුළු නානාප්‍රකාර බුදුවරුන්ට ඉතා හොඳ ගොදුරු බිමකි. 

සැබෑ බණෙන් පිට පැන්න විට ඕනෑම බුදු සව්වකුට කවරම දෙයක් මුත්, බුදු බණ සේ හුවා දක්වන්ට අවසරය ලැබෙයි. 

අපේ හාමුදුරුවන්ට බුදු බණෙන් පිට පනින්ට ඇති හොඳම මාර්ගය නම්, දේශප්‍රේමයයි. දේශප්‍රේමයෙන් මනරංජිත වූ විට හෙවත් උජාර් වූ විට, බුදුසව්වන් බෙරිහන් දෙන්නේත් අත පය විසි කරන්නේත් මෝඩ දේශපාලනඥයන් සේය. දේශප්‍රේමය ලැගුම් ගෙයි ඉස්සර ‍ෙදාරින් ඇතුළු වන විට, බුදු බණ පස්සා ‍ෙදාරෙන් පලා ගොස් වල් වදියි. එතැන ඇතිවන හිදැස පුරවන්නට වැඩම කරන්නේ වැදි බණය. එවිට මස් කඩේට ලයිසන් දීම වුණත් කැපය. ඇවතක් සිදුවන්නේම නැත. එතකොට ජනපීඩක ආණ්ඩුවටත් පන්සලටත් කරට කර අත දාගෙන දේශප්‍රේමී ඇස් බැන්දුම්වලින් ජනතාව ගොනාට අන්දවන්නට හැකිය. 

හාමුදුරුවන්ගේ මෙන්ම ගිහියන්ගේද මුල්ම සිල් පදය පාණාතිපාතා වේරමණීය. ඒ කියන්නේ පර පණ නැසීමෙන් වෙන්වීමය. එහෙත් දේශප්‍රේමී බුද්ධාගමට ඒ මුල්ම මුල් සිල් පදය කඩන්ටත් ලයිසන් ඇත. වෙනත් වචනවලින් විග්‍රහ කොට දක්වනවා නම්, රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, දේශය වෙනුවෙන් නම්, මිනීමැරුවත් වරදක් නැත. මිහිඳු හිමියන් අප වෙත ගෙන ආ බුදු බණට මහාවංසය අරුත් කීවේ ඒ ආකාරයෙනි. 

මහාවංසයේ එන ඒ බණ හැබෑ බුදු බණදැයි විමසන කිසිම සිංහල බුදුසව්වකු මට මෙතෙක් හමුවී නැත. බඹරකොටුවේ සුධර්ම කවියා නැඟූ පැනය අපූරු නොවේදැයි සිතෙන්නේ ඒ ගැන සිත මෙනෙහි කරන විටය. 

ඊනියා දේශප්‍රේමය බුදු බණ නොවෙතැයි අපට කියා දෙන්නේ අන් කවරකුවත් නොව, බුදුහාමුදුරුවන්මය. ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ එන මේ ගාථාවටත්, එහි සරල කාව්‍යමය අනුවාදයටත්, දැන් සවන් දුන මැනවි 

න අත්තහේතු න පරස්ස හේතු 

න පුත්ත මිච්ඡේ න ධනං න රට්ඨං 

න ඉච්ඡෙයිය අධම්මේන සමිද්ධිමත්තනෝ 

ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා 

තමන් හෝ අන් සුවය උදෙසා 

කිසි පවක් නොම කළ යුතු 

පුතකු ධනයක් හෝ රටක් වුව 

පතා පව් නොම කළ යුතු 

තමන්ගේ හිතසුව පතා මුත් 

දැහැමි නැති මඟ හළ යුතු 

සිල්වත්ද නුවණැතිද දැහැමිද 

එවන් අය බව දත යුතු 

ඒ බුදු බණෙහි අමුතුවෙන් තෝරා දෙන්ට දෙයක් නැත. අරුත එතරම්ම ඍජුය. එතරම්ම නිරවුල්ය. රටක් වෙනුවෙන් මුත්, වරදක් කරන්ට බැරිය. රටක් වෙනුවෙන් මුත්, වැරදි මඟ ගත යුතු නැත. 

එතකොට දේශප්‍රේමය බොරුවක්ද ඔබ මගෙන් අසති. බුදුහාමුදුරුවන් කියන හැටියට නම් එය බොරුවකි. ප්‍රලාපයකි. අපේ බුදුහාමුදුරුවන් අහලකටවත් එන්ට බැරි පරිමාණයේ ඉංගිරිසි පඬුවකු වූ ආචාර්ය සැමුවෙල් ජොන්සන් වඩාත් ලිහිල් බසින් පාදඩයකුගේ අන්තිම සරණ දේශප්‍රේමය  (Last refuge of a scoundrel is patriotism) යැයි දැක්වූයේ බුදු බණෙහි ඒ අරුතේ සරල ප්‍රකාශනයයි. 

එතකොට ජාතියක් හැටියට අප එකට බැඳ තබන්නේ කවර නම් වරපටකින්ද? ඔබ අසනු ඇත. ජාතියක් එක් කරන්නේ, එකට බැඳ තබන්නේ ජාතික හැඟීම විසිනි. ඒ ජාතික හැඟීම කිසියම් ජනකායක් පිළිබඳ සහෝදරත්වයේත්, ඥාතිත්වයේත් මානුෂික බැම්මය. ඒ බැම්ම කඩා දැමිය යුතු වෙතැයි බුදු හිමියන් කීවේ නැත. 

දැන් අපි ඒ අර්බුදයේ හරයට ආසන්න වෙමින් සිටිමු. 

එතකොට බුදුහාමුදුරුවන්ගේ මේ අහිංසාවාදී ශාන්තිවාදී ආගමත් තියාගෙන ආණ්ඩු කරන්නේ කෙසේද? ඔබ ඒ ප්‍රශ්නයද අසනු ඇත. 

ඒ නම්, උත්තර දෙන්ට කිසිසේත්ම අමාරු ප්‍රශ්නයක් නොවේය. ඉතා පැහැදිලි ඒ උත්තරය ළඟ ළඟම ඇත. එයට ඇත්තේ ඉතාම ඍජු හිතනවාටත් වඩා සරල උත්තරයකි. ‘බුද්ධාගමත් මෙතැනට වඩාත්ම ගැළපෙන්නේ බුදු සසුනය. රජයත් එකිනෙකින් වෙන් කර තබන්න’ එතකොට අර්බුදය අවසන්ය. ජාතියක් හැටියට අප දිගින් දිගටම ගැලී සිටියේ ඒ අර්බුදයෙහිය. 

මෙකී අර්බුදය ඉතා ගැඹුරින් යථාර්ථවාදීව වටහාගත් ශේ‍ර්ෂ්ඨ මිනිහෙක් අසල්වැසි ඉන්දියාවේ සිටියේය. සර්ව සම්පූර්ණ ආගමික ජීවිතයක් ගත කළ ඔහු, රාජ්‍යයත් පාලනයත් අධ්‍යාපනයත් ආගමෙන් වෙන් කර තබන්නැයි කියා සිටියේය. ඔහු ඒ මතවාදයට කෝටි සංඛ්‍යාත භාරතීය ජනතාව හරවා ගත්තේය. යාඥාවේදී වෙඩි කා, “හේ රාමා” අහෝ දෙවියනි කියාගෙනම අවසන් හුස්ම හෙළුෑ ඒ උතුම් රාෂ්ට්‍ර පාලකයා මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිය.