දරුවන් සඳහා මතක ශක්තිය වඩවන තෙලක්

0
79

විවිධාකාර ග්‍රහ බලපෑම් මැද ශාරීරික දුබලතා නිසාද කොතරම් දක්ෂ දරුවකු වුවද ඉගෙනීමට තිබූ උනන්දුව උදේ‍යාගය බිඳ වැටී දරුවාද මවුපියන්ද ඉමහත් අසීරුතාවකට පත්විය හැකිය. දරුවාගේ ධාරණ ශක්තිය (මතක ශක්තිය) හීන වීමට පත්වීම නිසා දරුවාට අධ්‍යාපනය ලැබීමේදී සියලු දේ අමතකව ඒවා රඳවා ගැනීමේ හැකියාව ගිලිහී යා හැකිය. පාසලේ ගුරුවරයා අසන ප්‍රශ්නවලට මුහුණ දීමටද නොහැකිව කොන්වීමත් සිදුවේ. ඒ නිසා ඉගෙනීමට තිබූ උනන්දුව, ගිලිහී යෑම මෙන්ම මානසික වශයෙන් විශාල පීඩනයකට පත්වීමද සිදුවේ.

මෙවැනි දරුවන් තුළ ඉබේම වාගේ කේන්ති යෑම, වැඩිහිටියන්ට අවනත නොවීම, පොත පත පාඩම් කිරීමට දක්වන අකැමැත්ත, ඇතැම් විට බලාගත් අත බලා ගෙන සිටීම, කල්පනා කිරීම ආදී විවිධ ආකාරයේ ඉරියව් දක්නට ලැබේ. පාසල් යෑමට දැඩි අකැමැත්තක් දැක්වීම දක්නට ඇත. මෙවැනි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට ගෙන ඒමට නම් දරුවාට අයත් කේන්දරය පරීක්ෂා කර බලා පවතින අපලය පිළිබඳව සැලකිලිමත්ව ඊට අදාළ ශාන්තිකර්ම කිරීම, යන්ත්‍රයක් සූදානම් කරවා පැලඳ ගැනීමට සැලැස්වීමද කළ යුතු අතර ඇතැම් විට පවතින ග්‍රහ අපලවල බලපෑම් මත දරුවන්ට විවිධ රෝගාබාධා ඇතිවීමට ඉඩ ඇති බැවින්  ඒ පිළිබඳවද අවධානය යොමු කර ප්‍රතිකාර, ඔෟෂධ ලබාදීම කළ යුතුයි.

කේන්දරය පරීක්ෂා කර බැලීමේදී රාහු හෝ සිකුරු හෝ වෙනත් ප්‍රබල ග්‍රහයකුගේ බලපෑම මත ඇති වන අපලකාරී තත්ත්වය පිළිබඳව සැලකිලිමත්ව ඊට අදාළ යන්ත්‍රය තඹ කොළයක එක් කොටසකද අනෙක් කොටසේ මහා නවනාථ යන්ත්‍රය මැදිකොට නිසි පරිදි ජීවම්බල පිහිටුවා පලඳින්න.

අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම සිකුරු මහ දශාව ඇති අයටද අසාධ්‍ය රෝගවලට ගොදුරුවූ කෙනෙක් ප්‍රතිකාර ලැබුවද සුවය නොලැබේ නම් එවැනි රෝගීන්ටද මහා නවනාථ යන්ත්‍රය  පැලඳීමට සැලැස්වීම තුළින් යහපත් ප්‍රතිඵල උදාවන බවට මා අත්දැක ඇත. එම නිසා මහා නවනාථ යන්ත්‍රය අධ්‍යාපනය ලැබීමේදී දුර්වලතා පෙන්වන දරුවන්ට ග්‍රහ අපල දුරුවීමට විවිධ රෝගාබාධ ඇත්නම් දුරුවීමටද වැඩිහිටියන්ට, ගුරුවරුන්ට අවනතවීමද සිදුවේ.

මෙම ශාන්ති කර්මයට අමතරව මෙහි සඳහන් කරන මතක ශක්තිය වඩවන ඔෟෂධීය තෙල සකස් කර උදේ සවස පහන් තිරයකට මෙම තෙල් පොඟවා දිවේ ගාන්න. කතා කිරීමට අපහසු දරුවන්ටද උදේ සවස දීවේ ගෑම තුළින් කතා කිරීමටද අවස්ථාව උදාවනු ඇත. මෙම තෙල ඉපැරැණි පාරම්පරිකව පැවත එන බැවින් කෙම් ක්‍රමයක් ලෙසටද භාවිත කර ඇත.

තඹ භාජනයක් අවශ්‍ය වන අතර තෙල සිඳ ගැනීමට දෙන මල් ඔලිඳ කොළ, සමන්පිච්ච කොළ, ලුණුවිල, රසකිඳ, එනසාල් කළං දෙක බැගින් ගෙන කොටා එම යුෂ ලබාගන්න. ඉන් අනතුරුව අදාළ යුෂ තල තෙල් පත දෙකක්ද වත්කර සුබ හෝරාවකින් ළිප මත තැබීමට කටයුතු කරන්න. ළිප මත තැබීමෙන් පසු තෙල හොඳට හැඳිගාන්න. මේ අයුරින් තෙල පදමට හිඳෙනවිට සුවඳ කොට්ටන්, වැල්මී, සාදික්කා, කරාබු නැටි, වසා වාසි, එනසාල්, තිප්පිලි, ඉඟුරු පියලි ආදී දෑ කළං එක බැගින් ගෙන කලින් කොටා සකස් කර තබාගෙන පදමට හිඳෙන විට තෙලට කලවම් කරන්න. තෙල පදමට හිඳෙන විට ළිපෙන් බාන්න.

මෙම තෙල සිඳ ගැනීමට  පෙර ඉතා පිරිසුදු  ස්ථානයක් සූදානම් කර ගන්න. එමෙන්ම පිරිසුදු සුදු වස්ත්‍රයක් බැඳගන්න. ළිප සකස් කළ ස්ථානය අසල මේසයක් හෝ ටීපෝ එකක් මත පිරිසුදු සුදු රෙදි ඇතිරිල්ලක් තබා ඒ මත බුදුන් වහන්සේගේ  පිළිරුවක් හෝ පින්තූරයක් තබා තෙල් මල් සුවඳ දුම් කැපකර පහන් දැල්වීම කරන්න සූදානම් වන්න. අමතරව සරස්වතී මෑණියන්ට ගණ දෙවියන්ට පින්තූර දෙකක්ද ඒ මත තබා පහනක් දල්වා තබා සුබ හෝරාවට පහන් දල්වා ළිප ගිනි මොළවන්න.

ඉන් පසු අදාළ තෙල් භාජනය ඒ ළිප මත තබා පෙර සඳහන් කළ ආකාරයට තෙල සිඳ පසුව මල්, බුලත් පුටු සාදා ත්‍රිවිධ රත්නයට බුදු හිමියන්ගේ පිළිරුව ඉදිරිපිට පහනක් දල්වන්න. ගණ දෙවියන්ට සහ සරස්වතී මෑණියන්ටද පහනක් දල්වා අදාළ පුද පූජා තබා දේව කන්නලව් කර අදාළ යන්ත්‍රයද ඒ මත තබා අදාළ මන්ත්‍රවලින්ද 1008 වරක් ජීවම් බල පිහිටුවා යන්ත්‍රය කරේ පැලඳ ගන්න. යන්ත්‍රය පැලඳ ගැනීමට පෙර ශරීරගතව ඇති විවිධ දෝෂ ඉවත් කරලීමට දෙහි කපා පසුව අදාළ යන්ත්‍රය පැලඳ ගන්න. තෙල් උදේ සවස දිවේ ගාන්න.

තෙල සිඳ ගැනීමට පෙර නිවෙසේ සිටින සියලුම දෙනා මස් මාංස ආදියෙන්ද දුම්පානයෙන්ද මත්ද්‍රව්‍ය මත්පැන් බීමෙන්ද වැළකී ආගමානුකූලව කටයුතු කරන්න.

අධ්‍යාපනය කඩාකප්පල් වීමේ සියලුම බාධා ඉවත්ව මතක ශක්තිය ලැබී අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. අමතරව බ්‍රාහ්මී සෘතය උදේ සවස තේ හැඳි එක බැගින් කෑමට දී පිටිකිරි හෝ එළකිරි බීමට දෙන්න. සරස්වතී මෑණියන්ට සහ දෙවියන්ට බාරයක් තබන්න.