තෙල්-විදුලිය නැත්නම් පෝලිම්වල ඉන්නත් එපා නම් මොකද්ද කරන්න කියන්නේ

0
17

අනුරාධා හේරත් 

“ඉන්ධනහල්වල පෝලිමේ ඉන්නත් එපා නම්, ඉන්ධනහල්වල තෙලුත් නැතිනම් ජනතාව කළ යුත්තේ කුමක් දැයි පිළිතුරු සපයන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හ¾දුන්නෙත්ති ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

මේ මොහොතේ පැය 10ක් 12ක් විදුලිය විසන්ධි කරන අතර උදාහරණයක් ලෙස අයිස්ක්‍රීම් අලෙවි කරන තරුණයෙක් හෝ Software සම්බන්ධ රැකියා කරන තරුණ තරුණියන් වැනි අය මේ වෙලාවේ ගෙවල්වලට වී කළ යුත්තේ කුමක්ද යන ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

කෙසේ නමුත් පවතින තත්ත්වය හා සාපේක්ෂව අප්‍රේල් මස අවුරුදු සමය නොබලා මීටත් වඩා මහජනතාව මාර්ග පුරා විරෝධය පළ කිරීම අනිවාර්යය බව සුනිල් හ¾දුන්නෙත්ති මහතා ‘මව්බිම’ ට පැවැසීය. 

තෙල් නොමැති නිසා ඉන්ධනහල්වලට ජනතාවට එන්න එපා යැයි පැවැසීම කිසිදු ප්‍රායෝගික තත්ත්වයක් නොවන බවත්  ආණ්ඩුව මේ මොහොතේ සිදු කරන්නේ අර්බුද සාමාන්‍යකරණය කර “කල දුටු කල වළ ඉහ ගැනීමේ” ක්‍රියාවක් බවටද හ¾දුන්නෙත්ති ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම රාජපක්ෂලා අර්බුද හමුවේ ජෝගි නටන තත්ත්වයකට පත්ව ඇති බවත් තවදුරටත්  මාධ්‍ය සන්දර්ශන හෝ පුහු තර්ක කර රටේ ජනතාව ඇන්දවීමේ තත්ත්වයක් ආණ්ඩුවට නොමැති බවත් හෙතෙම වැඩිදුරටත්  පෙන්වා දෙයි.