ඩීසල් සහ විදුලි අර්බුදය හමුවේ බැංකු කටයුතු අඩපණ වෙයි

0
66

රට තුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය හමුවේ බැංකු කටයුතු පවත්වා ගෙන යාම සඳහා බරපතළ ගැටලු උද්ගත වී ඇතැයි ලංකා බැංකු සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා mawbima.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, විදුලිය විසන්ධි කෙරෙන කාලය තුළ බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිත කරන අතර මේ වන විට එම යන්ත්‍ර සඳහා ඩීසල් ලබා ගැනීමේ බරපතළ ගැටලු පැන නැගී ඇති බව ය. 

ඩීසල් නොමැති වීම හේතුවෙන් අද (මාර්තු 31) දිනයේ ඇතැම් බැංකුවල කටයුතු අකර්මණ්‍ය වූ බව ද ඔහු පැවසීය.

සේනානායක මහතා ප්‍රකාශ කළේ, රාත්‍රී කාලයේ බැංකු වසා තැබුණ ද ATM යන්ත්‍ර ක්‍රියාත්මකව තිබිය යුතු වුව ද, පවතින ඩීසල් හිඟය හමුවේ එය අභියෝගයට ලක්වී ඇති බව ත් දැඩි පරිශ්‍රමයක් දරමින් තත්ත්වය කළමනාකරණය කරන බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඔහු අවධාරණය කළේ, දිගින් දිගට ම මෙම තත්ත්වය පැවතියහොත් විදුලිය විසන්ධි කර තබන කාලයේදී ATM යන්ත්‍ර ඇණහිටීමට බොහෝ දුරට ඉඩ ඇති බව ය. 

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී ද තහවුරු වූයේ ඇතැම් බැංකුවල ඊයේ (මාර්තු 30) රාත්‍රී කාලයේ ATM යන්ත්‍ර ක්‍රියා විරහිතව පැවති බව ය.

දිවා කාලයේ බැංකු කටයුතු සඳහා ඉන්ධන පිරිමසා ගැනීමට එම බැංකු රාත්‍රී කාලයේ ATM යන්ත්‍ර ක්‍රියා විරහිත කර තබා ඇතැයි එහිදී දැනගන්නට ලැබිණි.

එය රන්ජන් සේනානායක මහතා ද තහවුරු කළේ ය.

තවදුරට ත් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, ඇතැම් බැංකු සතු ඩීසල් අද දිනය සඳහා පමණක් ප්‍රමාණවත් බව ය.

“සමහර තැන්වල වහන්න වුණා. දැන් එක යි දෙක යි නේ. මේ යන විධියට ගොඩක් තැන්වල එහෙම අඩාළ වෙන්න ඉඩ තියෙනවා. බැංකුවලට ප්‍රමුඛතාවක් දෙනවා ඩීසල් දෙද්දී. නමුත් ඒගොල්ලන්ට ත් බඩු නැහැ නේ ඉතින්. අපි යෝජනා කරන්නේ මේ විධියට මම හිතන්නේ අපිට රෑ යම් වෙලාවක් මේවා (ATM) වහලා හරි තියන්න වෙනවා. නැත්නම් තියෙන ඩීසල් ප්‍රමාණෙන් දවල්ට හරි දෙන්න බැරි වෙනවා නේ.”  

ඒ අනුව, බැංකු කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

සේනානායක මහතා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය හමුවේ බැංකු සේවක සේවිකාවන්ට ද රාජකාරි කටයුතුවල නිරත වීමේ අපහසුතා ද පැන නැගී ඇති බව ය.

ඒ අනුව, ඇතැම් බැංකුවල නියමිත රාජකාරි කාලය අවසන් වීමට පෙර සේවක සේවිකාවන්ට නිවෙස් බලා යාමට අවසර දී ඇති බව ද අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

“ලයිට් නැහැ. විදුලි පංකා නැහැ. එක දිගට වැඩ කරන්න අමාරු යි. දැන් අපි කැෂුවල් අඳින්න ත් අවසර ඉල්ලුවා. දැන් ඒකට ත් අවසර දීල තියෙනවා.”

මෙම අපහසුතා හමුවේ බැංකු සේවා කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනුවත් කරමින් සියලු ම බැංකු ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කළ බව ද ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා වැඩිදුරට ත් පැවසීය.   

ගනුදෙනුකරුවන් ද ප්‍රකාශ කළේ, බැංකු සේවා කටයුතු අකර්මණ්‍ය වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ය.

නියමිත කාලවකවානු තුළ ණය ගෙවා ගැනීම් කර ගත නොහැකිව, මුදල් ගනුදෙනු කර ගත නොහැකිව තමන් දැඩි මානසික පීඩනයට පත්ව සිටින බව ඔවුහු පැවසූහ.