ජනතාව අඳුරේ තැබීම

0
67


ඉතිහාසයේ දීර්ඝතම විදුලිය කප්පාදුව ඊයේ ආරම්භ විය. කලාප වශයෙන් බෙදාගෙන කැපුවත් කැපිල්ලෙන් සාමාන්‍ය මහජනතාවට විඳින්නට සිදුවී තිබෙන පීඩාව බරපතළය. අවුරුදු පහුවෙනකොට ප්‍රශ්නය විසඳන්නට හැකි බව බලශක්තිය භාර අමාත්‍යවරයා මාධ්‍ය හමුවෙහි ප්‍රකාශ කළත් ඒ වාගේ කතන්දර ඊට පෙරාතුවද කියා තිබෙන හෙයින් ජනතාවට ඒ ප්‍රකාශ ගැන ඒ හැටි විශ්වාසයක් නැත. ඉකුත් මාර්තු පස්වැනිදායින් පසු රටේ ඔක්කොම ප්‍රශ්න ඉවරවනු ඇතැයි මීට පෙර වගකිවයුතු අමාත්‍යවරයකු කියා තිබිණි. අද 31ය. මාසයම ඉවරය. හෙට අලුත් අවුරුදු මාසය පටන් ගනී. තවමත් රට අඳුරේය. දිගින් දිගට මෙහෙම අඳුරේ ඉන්නට, පෝලිම්වල කල්ගෙවන්නට, වැඩි මිලට බඩු ගන්නට ආණ්ඩු කුමටද? ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ජනතාවට සහන සලසන්නටය. තෝර තෝරා පන්දාහ ගාණේ දෙනවාය කීවාටම රටේ ප්‍රශ්න විසඳන්නට පුළුවන්කමක් නැත.

පන්දාහ ගාණේ ලබාදීමෙන් හෝ ජනතාවගෙන් යම් පිරිසකට සහනයක් සැලසේ නම් ඒ ගැන අපේ කිසිදු විරෝධයක් නැත. එසේ දෙන්නට සල්ලි හොයාගන්නේ කොහොමදැයි අසන්නටද අපට අවශ්‍ය නැත. එහෙත් දිගින් දිගට රට අඳුරේ තබාගෙන මේ නටන්නට හදන නාඩගම නම් හොඳ එකක් නොවේ. මේ රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව මේ වැඩෙන් තව තවත් අමාරුවේ වැටෙනු වැළැක්විය නොහැකිය. 

සුළු සුළු කර්මාන්ත කරමින් සීමිත සේවක පිරිස්වලට වැටුප් ගෙවමින් කටයුතු කරන බොහෝ පිරිසකට විදුලිය කැපිල්ල ආණ්ඩුව දුන් දඬුවමක් වැනිය. ඇඳුම් මහන අයට මැෂින් දෙක තුන ක්‍රියාත්මක කරගන්නට බැරිය. නගරවල සන්නිවේදන ආයතනවල දෛනික කටයුතු ඇනහිට ඇත. යන්ත්‍ර සූත්‍ර යොදාගෙන වඩු වැඩ කරන තැන්වල, පෑස්සුම් වැඩ කරන තැන්වල විදුලිය ඇනහිටීමෙන් බොහෝ කටයුතු අඩාලව ගොසිනි. ගෙදර ‍ෙදාරේ ඇඳුමක් මැද ගන්නට, විදුලිය ලැබෙනතුරු බලා සිටින්නට වුණොත්? විභාගයට රාත්‍රියට පොත පත කියවන පාඩම් කරන දරුවනට අඳුරේ ඉන්නට වුණොත්? කළ යුත්තේ කුමක්ද? මහජන උපයෝගිතා  කොමිෂන් සභාව දැන් සැලසුම් හදන්නේ විදුලිය කැපිල්ලට මිසක විදුලිය සැපයීමට නොවන බව පෙනෙයි. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අධිකාරි කොමිෂන් සභා, මණ්ඩල, ආයතන, මේ හැම එකක්ම විදුලිය සැපයීම ගැන ඇප කැප වෙනවානම් අතුරු ප්‍රශ්න ගැන කතා කරන්නට ඉඩක් තිබෙන්නට නොහැකිය.

විදුලි බලාගාරවලට තෙල් නැත. තෙල් ගන්නට ඩොලර් නැත. ඩොලර් එන මාර්ග නැත. ජල විදුලි බලාගාරවලට වතුර නැත. යනාදී කතන්දර කිය කියා අද විදුලි කැපිල්ලට සාධාරණ හේතු පෙන්වන්නට බලධරයන් ඉදිරිපත් වී ඇතත්, මීට ටික දිනකට පෙර මේ කියන අයම පාරම් බෑවේ අපට ඩොලර් ප්‍රශ්න නැහැ. තෙල් ප්‍රශ්න නැහැ. වතුර ප්‍රශ්න නැහැ කියාගෙනය. දැන් තෙල් ගෑස් සම්බන්ධව පමණක් නොව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා

ඔෟෂධ වර්ග ගැනත් ප්‍රශ්නය, අර්බුදය, ගැටලුය. 

රට මුහුණදෙමින් සිටින බරපතළ ආර්ථික ගැටලු, විදුලිය ප්‍රශ්න, තෙල් අර්බුදය පසෙක තබා වෙන වෙනත් දේශපාලනික කාරණා ඉදිරියේ තබාගෙන අඳුරේ අතපත ගාමින් සිටිති. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ඉකුත් මාර්තු 5දා වනවිට රටේ සියලු අර්බුද විසඳන්නට සැලසුමක් ඉදිරිපත් කරන බවය. ජනතාව අපේක්ෂා තබාගෙන සිටියේ ‘ඇලඩින්ගේ පුදුම පහන’ රටේ සියලු ගැටලුවලට එකම විසඳුමයි කියා සිතාගෙනය. පහන වෙනුවට ආවේ සර්ව පාක්ෂික සමුළුවය. එයිනුත් පලක් වන බවක් නම් පෙනෙන්නට නැත. 

ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මේ රටේ වියළි කාලගුණයක් පැවැතීම ගැන අමුතුවෙන් කිවයුතු නැත. මේ සම්බන්ධව රටේ පාලකයන්ට පාඩම් උගන්වන්නට අවශ්‍ය නැත. ජල විදුලි බලාගාර සම්බන්ධව කටයුතු සැලසුම් කළ යුත්තේ  ඒ පිළිබඳ හොඳින් දැනගෙනය. අප රටේ තෙල් අර්බුදය ගැනද පාලකයන් දැන සිටින්නේ ඊයේ පෙරේදා නොවේ. දැන් සෑහෙන කලක සිටය. අභාවප්‍රාප්ත මංගල සමරවීරගේ මිල සූත්‍රය ආවේ ඒ ගැන ඔහු යම් දුරදිග බැලීමක් කළ නිසාය. දැන් මිල සූත්තරත් නැත. තෙලුත් නැත. විදුලියත් නැත. ආණ්ඩුවේ මැති ඇමැතිවරු නන්‍ෙදාඩවමින් සිටිති. අද නැවක් එනවා හෙට තව දෙකක් එනවා, තව එකක් මඟ එන්න සූදානම්, ඩොලර් ටිකක් තමයි මදි, ඉන්දියාවෙන් තව බිලියනයක්වත් ගන්න ඕන. මේ කතන්දර කිය කියා ජනතාව නැළවීම ආණ්ඩුවේ වර්තමාන භූමිකාවය. ඒ අතරතුර පැය දහය නොව හෙට අනිද්දා වනවිට පැය 12ක් 15ක් තරම් කාලයක් විදුලිය කපන්නට සිදුවනු ඇතැයි ඉන්ජිනේරු පිරිසක් අනතුරු අඟවති. 

නොරොච්චෝලේ හා කැලණිතිස්ස විදුලි බලාගාරය අවස්ථා කිහිපයකම අක්‍රිය වී ගියේය. සපුගස්කන්ද විදුලි බලාගාරය දැවිතෙල් නැතිකමින් ඇනහිටියේය. ආණ්ඩුවේ වැඩ අඩාල කරන්නට සැරසෙන කුමන්ත්‍රණකරුවන්ගේ කඩාකප්පල් කිරීම් ලෙස හුවා දැක්වීම්ද සිදුවිය. නොරොච්චෝලේ යළි බල ගැන්නුවද, එහි ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් වූයේ නැත. රාජ්‍ය ආයතනවලත් පෞද්ගලික ආයතනවලත් විශාල ජෙනරේටර් තැබීමේ උත්සාහයද ඉන්ධන අර්බුදය හමුවේ නිරර්ථක වී තිබේ. ජෙනරේටර් ක්‍රියා කරවීමට අවශ්‍ය ඩීසල් සපයා ගැනීම බරපතළ ගැටලුවකි. 

විදුලිය අරපිරිමැස්මේ වැදගත්කම ගැන ජනතාව දැනුවත් කරන්නට පියවර ගෙන තිබුණද රාජ්‍ය ආයතනවල හා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ කාර්යාලවල, නිවෙස්වල, නිල මැදුරුවල රාත්‍රිය දහවල සේ පෙනෙයි. විදුලි පංකා නිබඳ ක්‍රියාත්මකය. ගෙඋයන් විදුලි පහනින් බැබළෙයි. මෑතකදී කාගෙ කාගේත් කතාබහට ලක්වුණේ ඇමැති කෙහෙළියගේ විදුලි බිලක් ගැනය. ඒ බිල කෝටි ගණනකි. එය ගෙවා ඇත. ගෙවා ඇත්තේ කාගේ සල්ලිවලින්දැයි කියන්නට අප දන්නේ නැත. ඒත් ජනතාව තමන්ගේ බිල ගෙවනවා පමණක් නොව, ආණ්ඩුවේ බොහෝ තැන්වල බිල ගෙවන්නට දායක වී සිටිති. වර්ෂ 2011 _ 2016 අතර කාලය තුළ වසර පහේ පමණක් විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 595ක් බව කියයි. මේ පාඩුව ගැන ජනතාව අතට ලැබෙන බිල්පත්වලින් සොයා ගන්නට බැරිය.

මේ රටේ පාඩු ලබන රාජ්‍ය ආයතන අතර විදුලිබල මණ්ඩලයද ඉහළ තැනකය. මණ්ඩලය මේ හැටි පාඩු ලබන්නේ ජනතාවගේ වරදින් නොව “මණ්ඩලේ කචල්” නිසාය. මණ්ඩලය වැඩිපුරම පාඩු ලබන්නේ තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන ලබාගන්නට කළ  වියදම් හේතුවෙනි. සූර්ය බලය හා විකල්ප බලශක්ති ගැන, කුඩා ජලවිදුලි බලාගාර ගැන යෝජනා වරින්වර කරළියට ආවත් මහා පරිමාණ විදුලි බලාගාර යෝජනා හමුවේ ඒවා යට වී ගියේය. සැඟවුණු හා රස වැටුණු කොමිස් මලු විදුලි මාෆියාවක් නිර්මාණය වීමේ ප්‍රමුඛ හේතුව වන්නට ඇත.

අඳුරට ශාප කරමින් සිටිනු වෙනුවට එක ඉටිපන්දමක් හෝ දල්වාගෙන සිටීම වටී. එහෙත් දිනෙන් දින නව තාක්ෂණය හා නවීන විද්‍යාව විසින් වෙනස් කර ඇති ලෝකයේ ඉටිපන්දම් එළියෙන් සියලු කටයුතු සපුරාගැනීම උගහටය.