ගුරුගොඩ ඔයේ පාලමට ආරක්‍ෂිත වැටක් නෑ

0
15

රුවන්වැල්ල – එස්.ආර්. සමරක්කොඩි

ගම් රැසකට පිවිසීම සඳහා කනන්තොට නගරයට නුදුරින් ගුරුගොඩ ඔය හරහා පාලමක් ඉදිකර ඇතත් ඊට ආරක්‍ෂිත ඇඳිවැටක් සවිකර නොතිබීම ජීවිත අවදානමකට හේතුවක් වී තිබේ.

දිගින් අඩි සියයක් පමණ වන මෙම පාලම සබරගමුව පළාත් මහ ඇමැතිව සිටි අතාවුද සෙනෙවිරත්න මහතාගේ යෝජනාවක් අනුව ඉදිවී ඇති අතර වර්ෂ 2000.10.02 දින ජනතා අයිතියට පත්කර ඇත්තේ එවකට ප්‍රවාහන හා මහාමාර්ග ඇමැතිව සිටි ඒ.එච්.එම්. ෆවුසි මහතා විසිනි.

වැසි කාලයේදී ගංවතුර ගලන විට මෙම පාලමද යටවන බැවින් එහි ගමන් කිරීම බෙහෙවින් අනතුරුදායක බව ගම්වාසීහු පැවැසූහ. කලකට පෙර රාත්‍රි කාලයේදී මෙම පාලම මතින් යතුරුපැදියකින් ගමන් කළ තරුණයන් දෙදෙනකුද පාලමෙන් පහළට ඇදවැටී ජීවිතක්‍ෂයට පත්වූ බව ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.

පෙතන්ගොඩ, අතලව, පරදෙණිය, හත්මත්ත, සියඹලාවල හා හැදුනගම ආදී ගම්වලට යෑමේදී මෙම පාලම බෙහෙවින් ප්‍රයෝජනවත් බවද පාලම මතින් ගමන් කරන්නන්ගේ ආරක්‍ෂාව සඳහා පාලමට ආරක්‍ෂිත ඇඳිවැටක් සවිකරදීමට වගකිව යුත්තන් උනන්දු විය යුතු බවද ප්‍රදේශවාසීහු පැවැසූහ.