ග්‍රහ අපල දුරුකොට යහපත උදාකරන බලගතු කතරගම දේව කන්නලව්ව හා පූජාව

0
146

රජය විවිධ සහන ලබාදීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීම කළද එක් ප්‍රශ්නයකට විසඳුම් ලබාදීමේදී තවත් ප්‍රශ්න, ගැටලු ඇති වී ජනතාවට විවිධ ගැටලු රැසක් ඇති වේ. රජය මෙන්ම ජනතාවද බුද්ධිමත්ව තීන්දු තීරණ ගත යුතු අතර ආගමානුකූලව කටයුතු කිරීමද සත්ත්ව ඝාතන හැකිතාක් අවම කිරීමද කළ යුතුය. ඇතැම් ලග්න හිමියන්ට සුබ පල ඉටුවේ. එනිසා එම අයගේ අපේක්‍ෂාද ඉටුවේ. නමුත් ඇතැම් ලග්න හිමියන්ට විවිධ කරදර, බාධක, සිත්තැවුල්, ධන හානි, රැකියා අහිමිවීම, නොලැබීම, මානසික ලෙස පීඩනයන්ට ලක් වීම, ඇතැම්විට හිරේ විලංගුවේ වැටීම ආදියද, ව්‍යාපාර බංකොලොත් වීම, ආදායම් මාර්ගවලට බාධා ඇතිවීම ආදී විවිධ කරුණු රාශියක් උදාවනු ඇත. ග්‍රහ අපල දුරු වීමට මෙන්ම ඔබේ පැතුම් ඉටුකර ගැනීමට මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට රට පත්ව තිබෙන මොහොතක කතරගම දෙවියන්ට දේව පූජා තබා, දේව කන්නලව් කර ආශිර්වාද ලබා ගැනීම කළ යුතුය. නව අවුරුදු උදාවට අදාළ නොනගතය පවතින 2022 අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්පතින්දා පාන්දර පූර්වභාග 2.17 තත්පර 17ට අපර භාග 3.05 තත්පර 17 දක්වා කාලයට පුණ්‍ය කාලය යෙදී ඇති අතර පූර්ව භාග 2.17ට පෙර ආහාර අනුභව කර සියලු වැඩ අත්හැර පූර්ව භාග 8.41යි තත්පර 17ට පෙර පවතින පුණ්‍ය කාලයේදී (නොනගතයට) අදාළ කාල සීමාව තුළ ආගමික වතාවත්වල යෙදීම මෙන්ම කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සුදුසුය.

ඔබ නිවෙසේ ඉතා පිරිසුදු ස්ථානයක මේසයක් මත හෝ සුදුසු ස්ථානයක පිරුවටයක් තබා ඒ මත කතරගම දෙවිඳුගේ පින්තූරයක් තබන්න. පළමුව ත්‍රිවිධ රත්නයට තෙල් මල් පූජා, සුවඳ දුම් පූජා කොට පහන් දල්වා ඉන්පසු කතරගම දෙවියන් උදෙසා බුලත් කොළ 21ක්, පලතුරු 5ක්ද, කැවිලි වර්ග 5ක්ද, කපුරු හඳුන්කූරුද, මැටි පහන් 3ක්, තලතෙල්, පොල්තෙල්, අබතෙල් දමා පහන් 3ක් සකස් කර රතු මල් වට්ටියක්ද, හැකි නම් රතු රෙදි යාරයක්ද, පඬුරක්ද, කහ වතුර, සාම්බ්‍රානි, පොල්කටු අඟුරු දුම්කබල ආදියවලින් සූදානම් කරගෙන අදාළ ස්ථානයේ තබා සුවඳ දුම් අල්ලා කතරගම දෙවිඳු වඳින මෙම ගාථාව කියන්න.

කතරගම දෙවියන්ට පූජාව කැප කිරීම සඳහා කියන ගාථාව

කන්දස්වාමි ශ්‍රී සර්ව මංගල්‍යම්

යථා භූතාන සමිනේ – ගන්ධ ධූපේන කන්දස්ස්වාමි නමෝ වරං

සසී ඝනබර නේත්‍රං ස්වර්ණ වර්ණ්‍යාදී රූපං

ප්‍රසම්මිත පද යුක්තං ඛාද ශෛකෘත්ම බාහුං

සිරිධර බල තේජං ෂඩ් මුඛං ස්වර්ණ ශ්‍රීවං

අඛිල භය හරන්තං ස්කන්ධ දේවං නමාමී

කදිර පුර වරෙහිය – වෙසෙන දෙවි කඳ කුමරුය

මේලකට බල වැඩිය – උමා මෙහෙයුරු දේවියගේ පුතණුය

දුක් විපත් විඳිනා – හැම සත දුකෙන් මුදනා

රෝදුක් දුරලනා – කතරගම දෙවි වඳිමි බැතිනා

අත් ‍ෙදාළසකින් නේ – කොන්තා යුධ දරන්නේ

මුහුණු සයකින්නේ – කදිර සුරිඳුගේ තෙද පෙනෙන්නේ

දිවා රෑ නොහැර – කරන පුද කෙළි පතනා

ජනගේ දුක දුරැරා – හරින දෙවියෙකි නුඹ නොවිතරා

උපන් පින් බලයෙනි – හපන්කම් ඇති බෙහෙවිනි

මෙවන් කඳ සුරිඳුනි – ඔබෙන් පිහිටක් පතමි බැතියෙනි

තේජස බල විකුම් පපා – රුපුනෙබි බිඳ හැර ලන්නේ

මේ රට රැක දෙන දෙවියෙකි – මේ කෙළි පුද පිළිගන්නේ

තාරක නම් අසුරයාගේ ගෙල හිඳ ජය ලැබූ මෙන්නේ

මේ සතහට කරුණාවෙන් ඒ බලයෙන් සෙත දෙන්නේ

බුදු සසුනට මේ ලක්දිවට දිවැස් හෙළා වැඩ ඉන්නේ

මැණික් ගඟට එහි කන්දට රෑ පුරා රටම බලවන්නේ

සැකක් නොමැත ඔබ තෙදබල තව තව රට පැතිරෙන්නේ

අදත් අපගේ පුද අසුනට මයුරා පිට නැඟ එන්නේ

දේව කන්නලව්ව

රුහුණු පුරයට, කුඩා කතරගමට, මහා කතරගම, සෙල්ලම් දූවට, මඩම් දූවට, කප්පර කන්ද නදී තීරයට, කිරි වෙහෙර වහන්සේට, කිරි විහාරයට, වැඩිහිටි කන්දට ආදී වශයෙන් මෙසිරිලක විවිධ සිද්ධස්ථානවලට, කෝවිල්වලට, බෝධීන් වහන්සේලාට, යහතින් දිවැස් හෙළා වැඩ වදාරමින් සම්බුද්ධ ශාසනයත්, ශ්‍රී ලංකා ද්වීපයත් සුරක්‍ෂිත කරන්නාවූ කතරගම කන්ද ස්වාමි ඔබ දෙවි හාමුදුරුවනේ ඔබවහන්සේගේ ශ්‍රී නාමයට ඔබවහන්සේට මාගේත් අප පවුලේ සැමගේත් ශක්ති ප්‍රමාණයෙන් සකස් කළ මෙම පුද පූජා භාරගෙන කැප කරගෙන අද උදාවන්නට වූ මෙම නව වසර මටත් මාගේ පවුලේ සැමටද ලක්වැසි සැමට පවතින්නාවූ සහ එන්නාවූද සියලු අපල උපද්‍රව රෝග පීඩා බාධාවන් සතුරු කරදර දුරු කර අකාමකා කර පැතුම් සම්පත් ලබාදී සකල ආශ්චර්යත් සර්ව සෞභාග්‍යයත් ළඟා කරවාදී වරදක් සිදුව ඇත්නම් සමාව දී ආශිර්වාද කරන සේක්වා.

ඔබවහන්සේ කීර්ති වූ පස්වාන් දහසකට ආයුබෝ වේවා!!!

මතු බුදු බව පතන ඔබවහන්සේට බුදු බව ලැබීමට අප දෙන පින් අනුමෝදම් වේවා!!!

ඔබගේ ගැටලු ඔබම පවසා පින් පිහිට ලබාගන්න

උදාවූ නව වසර ඔබට ඔබ පවුලේ සැමට වාසනාවන්ත නව වසරක් වේවා!

අම්බලන්තොට  නෝනාගම රුහුණු  

මහා භද්‍රකාලි අම්මාන් දේවාලයේ 

දේවගැති රූපසිංහ වෙද මහතා

0777497099