ගඳ සුවඳ දැනෙන අය එකතුවෙලා ආණ්ඩුව ගෙදර යවලා නව ගමනකට මුලපුරමු

0
14

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

“මේ ආණ්ඩුව කන් නොඇසෙන, ඇස් නොපෙනෙන, ගඳසුවඳ නොදැනෙන අ¾දුරු ඉරණමකට ඇද වැටිලා. ඒ නිසයි  කන් ඇසෙන, ඇස් පෙනෙන, ගඳසුවඳ දැනෙන හැමෝටම අපි ආරාධනා කර ඇත්තේ ‘පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව පරාජයට පත් කරලා, නව ගමනකට මුල පුරමු! කියා” යැයි ජානිපෙ නායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

ඊයේ (30දා) පක්ෂ 11 නායකයන් පිරිසක්  පන්නිපිටිය  ධර්මවිජයාලෝක විහාරස්ථානයේදී  ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී  කල්‍යාණි සාමගී්‍ර  ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද කීය.

“පවතින අර්බුදයෙන් මේ රට ගොඩගැනීම සඳහා අප පක්ෂ 11 විසින් සකසන ලද ‘මුළු රටම හරිමඟට’ ජාතික ප්‍රකාශනය පසුගිය මාර්තු දෙවැනි දා එළිදක්වනු ලැබීමෙන් අනතුරුව අප තීරණය කළා එය තෛ්‍රනිකායික මහ නාහිමිවරුන්ට පිළිගැන්වීමට. ඒ අනුව මේ වන විට මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ට, අමරපුර මහා නිකායේ මහ නාහිමිට හා රාමඤ්ඤ මහ නිකායේ මහ නාහිමිට මෙම ජාතික ප්‍රකාශනය පිළිගන්වා අවසන්. අද (30දා) දින සිදු වූයේ ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී   කල්‍යාණි සාමගී්‍ර මහා ධර්ම සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමිපාණන්ට ජාතික ප්‍රකාශනය පිළිගැන්වීමයි.

මෙම අර්බුදය පියමං කිරීම සඳහා වන පොදු එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා මහා සංඝරත්නයේ මඟ පෙන්වීම ලබා ගැනීම මෙම ගමනේ අරමුණයි.

රට විපතට පත්වෙන්න ගිය හැම වෙලේම මහා සංඝරත්නය මඟ පෙන්වීමක් කරමින් රට බේරගන්නට කටයුතු කළා. ඒ අනුවයි අප රටේ ඉතිහාසය ලියැවිලා තියෙන්නේ. දැන් තිබෙන මේ බැරෑරුම් තත්ත්වයක එක්ක මහා සංඝරත්නයේ මඟපෙන්වීම අත්‍යවශ්‍යයි. ආණ්ඩුවකට මේ විධියට එදා වේල සොයාගෙන යන විදිහට යන්න බැහැ.

මේ වෙලාවේ පටු දේශපාලන කතන්දර පැත්තකින් තියලා හරි විදිහට පියවර ගත්තොත් රටේ මිනිස්සුන්ට කුමක් හෝ විශ්වාසයක් ඇතිවේවි. අපි හිටපු ආණ්ඩුව කෙරේ දැන් විශ්වාසයක් නැහැ.

හැටනව ලක්ෂයක් ඡන්දේ දුන්නේ ලොකු බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් ඇතිව. පක්ෂ භේද නැතුවයි මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ ජනතාව. මිනිස්සුන්ට විශ්වාසවන්ත මඟපෙන්වීමක් රටට අවශ්‍ය වී තිබෙනවා.

අද පිටරට වැඩ කරන දරුවෝ මේ රටට බැංකු හරහා සල්ලි එවන්නේ නැහැ. එයාලට පාලකයෝ කෙරෙහි විශ්වාසයක් නැහැ. අපිට මේ තත්ත්වය බලාගෙන ඉන්න බැහැ. අපි මේක බලාගෙන හිටියොත් මේක කොහෙන් කෙළවර වෙයිද කියලා කියන්න බැහැ.  සමහර ඒවා එක ඉමකින් එහාට ගියාම ඒක කාටවත් බේරගන්න බැරි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.

එක්කෙනෙක් කිව්වා, මාර්තු 05 වැනිදායින් පස්සේ ලයිට් කපන්නේ නැහැ, කියලා. එයාට අනුව තවම පස්වැනිදා උදාවෙලා නැහැ. බලශක්ති ඇමැති කිව්වා, ‘බයවෙන්න එපා! ඕනෑතරම් තෙල් තියෙනවා’ කියලා. නමුත් අද කියනවා, ‘ඩීසල් නැහැ. ඒ නිසා පෝලිමේ ඉන්න එපා!’ කියලා.  මේ වගේ ආණ්ඩුවකට බැහැ මෙවැනි තත්ත්වයකින් රට බේරා ගන්න. 

විදුලිය කැපීම විතරක් නොවෙයි, දැන් බලන්න ඉන්දියාවෙන් ලැබුණු තෙල්. රියැදුරන් කියනවා ඒවා බාල තෙල් කියලා. මිත්‍රයෙක් නම්, උදවු කරනවා නම් බාල දෙයක් එවලාද උදවු කරන්නේ. පාලකයන්ට අයිතියක් නැහැ තමන් භාරගත්තු රටක් මේ විදිහට අසරණ කරන්න. පාලකයන් කියන්නේ භාරකරුවන්. ‘මේක මම ඇති කරපු අර්බුදයක් නොවෙයි‘ කියා ඇඟ බේරාගන්න කාටවත් බැහැ. එහෙම හිතන එක තමයි නරකම දේ.

මුදල් ඇමැතිතුමා 5,000ක් දෙනවා කියලා, කියලා තියෙනවා. මොකද එයාගේ තියෙනවා මුදල් ෆැක්ටරියක් බියගම. එයාගේ පවුලේ දේපළක් වගේ එය. එයාට හිතෙන වෙලාවට තියෙන කඩදාසි ඔක්කොගෙන්ම සල්ලි අච්චු ගහනවා. දැන් කඩදාසිත් නෑ ලංකාවේ. හැම කඩදාසියක්ම දැන් මුදල් නෝට්ටුවක් බවට පත්වෙලා.”

මේ සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි මෙසේ පැවසූහ.

“ඔබලා මේ ගන්න උත්සාහය ප්‍රශංසනීයයි. කවුරුත් එකතුවෙලා මේ ප්‍රශ්නෙට විසඳුම් සපයාගත යුතුයි. ප්‍රශ්නය පැහැදිලිනේ.  කාටත් බලපාන පොදු ප්‍රශ්නයක්. මෙය එක දේශපාලන කණ්ඩායමකට බලපාන ප්‍රශ්නයක් නොවෙයි මෙය.”

මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල.

“අපි අනිවාර්යෙන්ම කියන්නේ අපට අවශ්‍ය අපට දිනන්න නෙමෙයි. මවුබිම දිනවීමයි. අපි ගෙනාපු ආණ්ඩුව වුණත් රට විනාශ කරනවා නම් අපි ඒ අයව ඉවර කරනවා.”

විජයධරණි ජාතික සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි.

“රටේ තියෙන තත්ත්වය ඉතාමත් බරපතළයි. බරපතළ ගිවිසුම්වලට මේ සමඟ යන්න පුළුවන්. බලගතු රාජ්‍යයන් එක්ක. උතුරු හා නැඟෙනහිර සම්බන්ධයෙන් දැන් තවත් ඉදිරියට යා යුතු පිම්මක් ගැන සාකච්ඡාවක් යනවා. ඊළඟට පලාලි ගුවන්තොටුපොළ ගුවන් යානා ගැන ස්ථාන ගතවීම් ගැන ඒ කියන්නේ මිලිටරිමය සම්මුති ගැන සාකච්ඡා යනවා. 

එමඟින් ඉන් රටේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම බරපතළ තත්ත්වයකට වැටිය හැකියි.”

යුතුකම සංවාද කවය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග.

“අපි ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව මේ ආණ්ඩුව අපට සාකච්ඡාවක් දුන්නේ නෑ. අපි අවංකව ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන උත්සාහ කළේ ආණ්ඩුවේ මේ යන ගමන වැරැදියි කියලා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයව දිනවන්න කටයුතු කළ පක්ෂවල පක්ෂ නායක රැස්වීමක් මේ අවුරුද්දටම කැඳවලා නැහැ.

ඡන්දෙට ඉස්සෙල්ලා සති දෙකකට සැරයක් රැස්වෙලා මේ පක්ෂ සමඟ සාකච්ඡා කළා.  ආණ්ඩුව හැදුවයින් පස්සේ අපට දිගින් දිගටම අරගල කරන්නට සිද්ධ වුණා අපි එක්කත් කතා කරන්න කියලා.”