කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රාහිම් ඇතුළු තිදෙනාට එරෙහි නඩුව මැයි 25 වැනිදා

0
22

හංසි නානායක්කාර

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළ  ස්වයං ඝාතකයන් වන ඉන්සාෆ් අහමඩ් හා ඉල්ලාම් අහමඩ් යන අන්තවාදීන්ගේ පියා ඇතුළු චූදිතයන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව මැයි මස 25 වැනි දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පෙරේදා (29දා) දින නියම කළේය.

බන්ධනාගාරගත කර සිටින මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්‍රාහිම්, මොහොමඩ් ඉජාස් අහමඩ්, මොහොමඩ් ඊබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් යන විත්තිකරුවන් තිදෙනා බන්ධනාගාර අධිකාරිය මඟින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

විත්තිකරුවන්  සම්බන්ධයෙන් ඇප අයැදුම් කිරීමට බලාපොරොත්තු වන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊයේ අධිකරණයට දන්වා සිටි අතර ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව විනිසුරුවරයා එම අවස්ථාවේ දැනුම් දුන්නේය. 

2019 වසරේ අප්‍රේල් මස 21 වැනි දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට සහ ඒ හරහා ජාතිවාදී කෝලාහල ඇති විය හැකි බවට තොරතුරු දැන ගනිමින් ඒ පිළිබඳව පොලිස් නිලධාරියකුට දැනුම් නොදී  තොරතුරු වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.