කැබිනට් අනුමැතිය ලද වහාම ලිට්රෝ මිලත් ඉහළට

0
16

සඳුනි ගමාරච්චි

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය හරහා යෝජනාවක් පසුගියදා (21දා) කැබිනට් මණ්ඩලයට යොමු කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති  තෙෂාර ජයසිංහ පැවැසීය.

කැබිනට් මණ්ඩලය නව මිල ගණන් අනුමත කළ පසු එම මිල ගණන් ප්‍රසිද්ධියට පත් කරන බව සභාපතිවරයා සඳහන් කළේය. 

සභාපතිවරයා ඊයේ (30දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් එසේ පැවැසීය.

ගෑස් සිලින්ඩර නැව්ගත කෙරෙන මොහොතේ සිට රුපියල් 1500ක පමණ මුදලක් ලිට්රෝ සමාගමට පාඩු වන බවත් එසේ පාඩුව නොතකා මේ දක්වා දිවයින පුරා ගෑස් බෙදාහැරීම සිදුකළ බවත් තෙෂාර ජයසිංහ මහතා කීය.

මාසිකව ගෑස් මෙටි්‍රක් ටොන් 30,000කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර බෙදා හැරීමේ කටයුතු සිදුකරන අතර ටොන් එකක් සඳහා වූ ඇමෙරිකානු ඩොලර් 650ක මුදල මේ වනවිට 1,000 දක්වා වැඩිවී ඇති බවද ඔහු පැවැසීය.

එක් ගෑස් සිලින්ඩරයකින් ලිට්රෝ සමාගම ලබාගන්නේ රුපියල් 50ක සුළු ලාභයක් බවත්, අලෙවි නියෝජිතවරයා රුපියල් 90ක් ලබාගන්නා බවත් සභාපතිවරයා සඳහන් කළේය.

පසුගිය දස වසරක ඉපැයූ රුපියල් බිලියන 09ක ලාභය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මිල ස්ථාවරව පවත්වා ගැනීමට යෙදූ බවද වැඩිදුරටත් තෙෂාර ජයසිංහ මහතා පැවැසීය.