කටුගස්තොට එකම පවුලේ ඛේදවාචකයේ දිවි ගලවාගත් මවත් මියයයි

0
27

බුලත් විටි විකුණා ජීවිකාව ගෙන යමින් එම නිවෙසේ ජීවත්වූ ඊස්වරන් දේවන් (අවු.67), රාජා රානි වේලු (අවු.65) යන අඹුසැමි යුවළ සමඟ මේනගා දේවන් (අවු. 30) නමැති එකම දියණිය ගින්නට ගොදුරු වූහ. මේනගාගේ පෙම්වතා බව පැවැසෙන එස්. වේලු (අවු. 31) ද ගින්නට හසුවී මෙලොව හැර ගියේය.

නිවෙස තුළ ගින්න පැතිර යද්දී අසල්වැසියන් එම ගින්න නිවාදමා නිවෙස තුළ සිටි සිවු දෙනා බේරා ගැනීමට උත්සාහ කළද ඔවුනට නිවෙසින් එළියට ගැනීමට හැකි වූවේ මේනකාගේ මව පමණි. ඇයද බරපතළ පිලිස්සුම් තුවාල ලබා සිටියාය.

පිලිස්සුම් තුවාල සහිත රාජා රානි වේලු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවූ නිසා දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබිණි.

දින හයක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රාජා රානි වේලු පෙරේදා (29දා) රාත්‍රි අවසන් හුස්ම හෙළුවාය.

ගින්නට ගොදුරු වූ මේනගා දේවන් හා ඇගේ පෙම්වතා බව පැවැසෙන එස්. වේලු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පෙම්වතා මෙම නිවෙසට ගිනි තබා ඇති බව සඳහන් වේ. එය පෙම් හබයක් විය හැකි බවටද ප්‍රදේශවාසීහු සැක පළ කරති.

තම දියණියගේ විවාහය ඉහළින් කිරීමේ අපේක්‍ෂාවෙන් එක් රැස්කර තිබුණු රුපියල් ලක්‍ෂ ගණනක මුදල් නෝට්ටු ඒවා බහාලූ පොහොර බෑග්වල දමා නිවෙසේ මුල්ලක අනාරක්‍ෂිතව තබා තිබූ බව සඳහන් වේ. එම මුදල් නෝට්ටු සියල්ලම පාහේ ගින්නට හසුවී විනාශවී තිබෙනු දක්නට ලැබිණි.

මෙම මුදල් නෝට්ටු මේනගාගේ විවාහ මංගල්‍යය සඳහා ඇගේ පියා විසින් රහසිගතව නිවෙස තුළ තබාගෙන සිටි බවට තොරතුරු වාර්තා වේ.

ඊස්වරන් දේවන්, රාජා රානි වේලු, මේනගා දේවන්, එස්. වේලු යන සිවු දෙනා සමඟ සියලු සේසතම නිමේෂයකින් ගින්නට බිලිවී ඇත. 

මහනුවර – කේ. එල්. සුරවීර