ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක නායකයින්ගේ නිශ්ශබ්දතාව සහ ආණ්ඩුවේ අංශභාග ස්වරූපය පුදුමසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා පවසයි.
සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, මෙම තත්ත්වයෙන් මිදීම සඳහා ආණ්ඩුවට ඇති සැලසුම් මොනවා ද යන්න දැන ගැනීමට අවශ්‍ය බව ය.
ඔහු තැබූ සම්පූර්ණ සටහනෙහි සිංහල පරිවර්තනය මෙසේ ය.
‘පැය 13ක විදුලි කප්පාදුවක්, ඉන්ධන හිඟයක්, ඖෂධ හිඟයක්, අහස උසට නැගුණු බඩු මිල. මේ රටේ වෙසෙන ජනතාව මහත් ඉවසීමකින් සිටින අතර විශාල ලෙස කැපකිරීම් කරමින් සිටිති. මෙරට නායකයින්ගේ සැලසුම් මොනවා ද යන්න දැන ගැනීමට අපට අවශ්‍ය ය. ඔවුන්ට කිසිදු සැලසුමක් නැතිනම් එය ද දැන ගැනීමට අවශ්‍ය ය. නායකත්වයේ නිශ්ශබ්දතාව සහ ආණ්ඩුවේ අංශභාග ස්වරූපය පුදුමසහගත ය. බලයේ සිටින පුද්ගලයින්ට ද කැප කිරීම් කරන ලෙස ඉල්ලා සිටීමට ජනතාවට අයිතියක් තිබේ.