අවසන් පූර්ව වටයේ තරග අද හම්බන්තොටදී හා සූරියවැවදී

0
25

ගමිත දෙහිපිටිය 

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන ජාතික සුපර් ලීග් (එන්.එස්.එල්.) සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (31දා) හම්බන්තොටදී සහ පල්ලෙකැලේදී ආරම්භවීමට නියමිතව ඇත. 

ඒ අනුව කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පත් ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සමඟින් හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතව තිබේ. එමෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින කමිඳු මෙන්ඩිස් මෙහෙයවන මහනුවර කණ්ඩායම සහ ධනංජය ලක්ෂාන් මෙහෙයවන ගාල්ල කණ්ඩායම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දෙවැනි අවසන් පූර්ව තරගයේදී එකිනෙකා හමුවීමට නියමිතව ඇත.

මේ අතර මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් සහ අනුශූරයින් සඳහා පිරිනැමීමට නියමිත ත්‍යාග මුදල් සම්බන්ධයෙන් ද ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතන පෙරේදා (29දා) නිල වශයෙන් නිවේදනය කළේය. 

ඒ අනුව මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ ජයග්‍රාහකයන් සඳහා රුපියල් මිලියන 5ක මුදලක් පිරිනැමීමට නියමිතව ඇති අතර, අනුශුරයින් සඳහා රුපියල් මිලියන 2.5ක් පිරිනැමීමට කටයුතු යොදා තිබීමද කැපී පෙනෙන සිදුවීමකි. එමෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක්ද තරගාවලියේ දක්ෂතම පිතිකරු සහ පන්දු යවන්නා සඳහා රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක් පිරිනැමීමට නියමිතව තිබීමද විශේෂත්වයකි. 

මෙවන් පසුබිමක කොවිඩ් වයිරස් ආසාදන තත්ත්වයක් හේතවෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවද දැනගන්නට ඇත. 

 එහිදී ශ්‍රී  ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙහෙයවන කොළඹ කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනකුට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබීම මෙවන් තත්ත්වයක් උද්ගත වීමට හේතුවී ඇති බවද සඳහන්ය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියකු “මව්බිම”ට සඳහන් කළේ තරග දෙක නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බවය.