අර්බුදයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවයි

0
27

සඳුනි ගමාරච්චි 

රටේ පවත්නා අර්බුදයට වගකිව යුත්තේ 2003න් පසු බලයට පත්වූ රජයන් නොව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය. වර්ෂ 2003 තමන් මුදල් අමාත්‍යාංශයේ සිටියදී “මූල්‍ය කළමනාකරණ වගකීම් පනත” ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ බවත් ඒ අනුව 2006 වන විට ශ්‍රී ලංකාවේ අය-වැය ලේඛනයේ හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5කට වඩා අඩු කළ යුතු අතර එය අඛණ්ඩව පවත්වා ගත යුතුව තිබූ බවත් ඇමැතිවරයා කීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමැතිවරයා මෙසේ පැවැසීය.

වර්ෂ 2013 වන විට රටේ ණය බර දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙසින් සියයට හැටක් විය යුතු බවත් රජය දේශීය හෝ විදේශීය ණය සඳහා ඇප විය යුත්තේ සියයට 4.5%ක ප්‍රමාණයක් බවත් ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

එම කරුණු අනුව කටයුතු කළේ නම් වර්තමානයේ පවත්නා මෙම අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණ නොදෙන්නේ යැයිද ඔහු කීය.

පාර්ලිමේන්තු පනතකින් මෙසේ නීතියක් යොදා ඇතිවිට එම නීතියට අනුව කටයුතු නොකර පනත අවශ්‍ය ලෙස සංශෝධනය කිරීමේ වගකීම ඇත්තේ දේශපාලකයන්ගේ නොදැනුවත් කම නිසා නොව, ඒ සඳහා බලාධිකාරිය දැරූ නිලධාරීන් හා විශේෂඥයන් යැයි කියාගත් පිරිසකගේ යැයිද ඇමැති බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් පැවැසීය.