අපරීක්ෂාකාරීව පැදවූ මෝටර් රියට යටවී මිය ගිය අයගේ පවුලට ලක්ෂ 5ක වන්දියක්

0
14

කුමුදු උපුල් ශාන්ත 

බීමත්ව අපරික්ෂාකාරී ලෙස හා අධික වේගයෙන් ධාවනය කළ  කාර් රථයකට යටවී මියගිය පුද්ගලයකුගේ බිරිය හා දරු දෙදෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන ලෙස නුගේගොඩ  දිසා විනිසුරු භාරතී විජේරත්න මහත්මිය එම කාර් රථයේ රියැදුරු ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට නියෝග කළාය.

එම සිද්ධියේ විත්තිකරුවන් වන කාර් රථය ධාවනය කළ රියැදුරු වන තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි ශිරාන් ලලින්ද පෙරේරා හා  ෆෙයාෆස්ට් රක්ෂණ ආයතනයට එසේ නියම කෙරිණි.

යතුරු පැදියක යමින් සිටි ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටි නවරත්න  මුදියන්සේලාගේ මංජුල ප්‍රසන්න කුමාර නමැති පුද්ගලයකු මෙම අනතුරෙන්  මියගොස් තිබේ.

මියගිය පුද්ගලයාගේ බිරිය වන දර්ශනී හෙට්ටිආරච්චි හා ඇගේ දරු දෙදෙනා නීති ආධාර කොමිසමේ නුගේගොඩ මධ්‍යස්ථානයෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම මධ්‍යස්ථානයේ ප්‍රධාන නීතිඥ ඉනෝකා ආරියරත්න මහත්මිය මෙම නඩුව  අධිකරණය හමුවේ ගොනුකර තිබිණි. 

තම සැමියා පෙදරේරු රැකියාවේ නිරතව සිටිමින් මාසිකව උපයාගත් රුපියල් 35,000ක පමණ ආදායමෙන් තම බාල වයස්කාර දරු දෙදෙනා ඇතුළු පවුලේ අයවලුන් නඩත්තු වූ බවත් රිය අනතුරෙන් සැමියා මියයෑමෙන් පසුව තම පවුලට තිබූ එකම ආදායම් මාර්ගය අහිමිව ආර්ථික අපහසුතාවන් රැසකට මුහුණ දීමට සිදුව ඇති බවද ඇය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට පෙන්වාදී තිබිණි. 

තම සැමියාගේ අභාවයෙන් පසුව තම පවුලට සිදුව ඇති ආර්ථික අපහසුතාවන් වෙනුවෙන් සිද්ධියට වගකිවයුතු කාර් රථ රියැදුරු ඇතුළු විත්තිකරුවන්ගෙන් තමන් හා තම දරු දෙදෙනාට රුපියල් කෝටියක වන්දි මුදලක් අයකර දීමට අදාළ නඩු තීන්දුවක් ලබාදෙන ලෙස පැමිණිලිකාර කාන්තාව  නීතිඥ ඉනෝකා ආරියරත්න මහත්මිය මඟින් පෙනී සිටිමින් ඇය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබා ගෙන නඩුව සමථයකට පත්කර ගැනීමට පැමිණිලිකාර කාන්තාව විත්තිකරුවන් සමඟ එකඟතාවය පළ කිරීම හේතුවෙන් විවෘත අධිකරණයේදී පැමිණිලිකාර කාන්තාවට රුපියල් ලක්ෂ 5ක චෙක්පතක් ගෙවා අධිකරණයේ දී නඩුව සමථයකට පත් කෙරිණි.

මෙම  කාර් රථය හා  යතුරුපැදි අනතුර 2016 දෙසැම්බර් මස 23 දින තලවතුගොඩ ප්‍රදේශයේදී සිදුව ඇති බවත් කාර් රථය ධාවනය කළ විත්තිකාර රියැදුරා බීමත්ව අපරික්ෂාකාරී ලෙස හා අධික වේගයෙන් පදිකයන් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වමින් අලවතුගොඩ සිට පන්නිපිටිය දෙසට  කාර් රථය ධාවනය කිරීම හේතුවෙන් යතුරුපැදියක යමින් සිටිය මංජුල ප්‍රසන්න කුමාර නමැති පුද්ගලයා කාර් රථයේ ගැටී මියගොස් ඇති බවද අධිකරණයේදී අනාවරණය කෙරිණි.