INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ නිලධාරි සහ ඉන්ජිනේරු කුසලතා සංවර්ධන වැඩසටහන දකුණු පළාතටත්

0
31


INSEE සිමෙන්ති සමාගම පසුගියදා දකුණු පළාත් සභාව සමඟ විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අස්සන් තැබීය. මේ යටතේ INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ නිලධාරී සහ ඉන්ජිනේරු කුසලතා සංවර්ධන වැඩසටහන් එම පළාත තුළද ක්‍රියාවට නැංවෙනු ඇත. 

දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා සහ INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා විසින් මෙම ගිවිසුම්වලට අස්සන් තබන ලදී. පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන ඉන්ජිනේරුවන්, ඉන්ජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 

තාක්ෂණ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර සහ පළාත් ඉන්ජිනේරුවන් සඳහා හ¾දුන්වාදී ඇති  Continuous Professional Development (CPD) වැඩසටහන සඳහා ගිවිසුම් අස්සන් කළ ප්‍රථම පළාත් සභාව වන්නේ දකුණු පළාත් සභාවයි. දකුණු පළාත් සභා ලේකම් කාර්යාලය සමඟ එක් වී මෙම වසර තුළ තාක්ෂණ නිලධාරීන් 350 දෙනකු සහ ප්‍රාදේශීය ඉන්ජිනේරුවන් 55 දෙනකු සඳහා පුහුණු සැසි පැවැත්වීම INSEE සිමෙන්ති සමාගමේ ඉලක්කය වී තිබේ. 

 “දකුණු පළාතේ රාජකාරි කරන තාක්ෂණ නිලධාරීන් වෙනුවෙන් මෙම කුසලතා සංවර්ධන වැඩසටහන හ¾දුන්වාදීමට හැකිවීම අපට මහත් සතුටක්.  මෙම පළාත යටිතල පහසුකම් හා නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් අවස්ථා රාශියක් පවතින පළාතක් ලෙස හැඳින්විය හැකියි. රටේ ඉදිරි ගමන තුළ දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව අප විශ්වාස කරනවා. ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රමුඛයකු ලෙස අපගේ වගකීම වන්නේ, සියලුම දෙනාට පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීමට හැකි වන පසුබිමක් සකස් කරමින්, දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය හා ප්‍රගතිය උදෙසා අපගේ දායකත්වය හැකි උපරිමයෙන් ලබාදීමයි.” INSEE සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා පැවැසීය. 

රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු, ගොඩනැඟිලි ද්‍රව්‍ය සම්බන්ධ තත්ත්වය පාලන කටයුතු, පරීක්ෂණ, ඉදිකිරීම් කළමනාකරණය, ආරක්ෂාව, සිමෙන්ති හා කොන්ක්‍රීට් භාවිතය සහ හරිත ගොඩනැඟිලි ක්‍රමවේදයන් යනාදිය සම්බන්ධයෙන් ඉන්ජිනේරුවන්ගේ හා තාක්ෂණ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම ඔස්සේ දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ කුසලතා සංවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.