DFCC බැංකුව නැවතත් CIMA ‘Gold Corporate Partner’ බවට පත්වෙයි

0
28


DFCC  බැංකුව අඛණ්ඩව තුන් වැනි වරටත් ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (Chartered Institute of Management Accountants of Sri Lanka – CIMA) ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන (Corporate Partnership Programme) යටතේ  ‘Gold Partner’ ලෙස එම ආයතනය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන යනු ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරී වෘත්තියෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලබන සුවිශේෂී වැඩසටහනකි.

පුරෝගාමී ආකල්ප සහිත වෘත්තිකයන් බිහිකිරීම කෙරෙහි උනන්දු වන ප්‍රධාන පෙළේ සමාගම් හා ආයතන සහ  CIMA  ආයතනය අතර ඇති කරනු ලබන සුවිශේෂී හවුල්කාරීත්වයන් ජාලයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම හවුල්කාරීත්වය යටතේ DFCC  බැංකුව,  CIMA  සුදුසුකම් ලැබූ දක්ෂ වෘත්තිකයන් බඳවා ගැනීම, නවක වෘත්තිකයන්ට මඟපෙන්වීම, ගණකාධිකරණ වෘත්තියේ නවෝත්පාදනයට අත්වැලක් වීම සඳහා සමාන ආකල්ප සහිත විධායක නිලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීම සහ සක්‍රීය සංවාදයන් ඔස්සේ අනාගතයට වැදගත් වන දැනුම හා අදහස් හුවමාරු කරගැනීම යනාදිය සිදුකරනු ඇත. 

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC  බැංකුවේ ජේ‍යෂ්ඨ උප සභාපති (මානව සම්පත්) සොනාලි ජයසිංහ මහත්මිය මෙසේ පැවැසුවාය. “මෙය DFCC  බැංකුවේ ප්‍රධාන අරමුණු අතරට අයත් වන, විශිෂ්ටත්වය හඹා යෑමට උනන්දු කරවීම සහ, ව්‍යාපාර ලෝකය තුළ ගෝලීය මට්ටමින් තරග කළ හැකි නායකයන් නිර්මාණය කිරීම යන අරමුණු සමඟ මැනැවින් සමගාමී වන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැකියි. අඛණ්ඩව 3 වැනි වරටත් මෙම හවුල්කාරීත්වයට එළඹීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. දක්ෂයන් හඳුනා ගැනීම හා බඳවා ගැනීම, වෘත්තිකයන්ට එකිනෙකා සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා පුළුල් මට්ටමේ අවස්ථාවන් නිර්මාණය කිරීම සහ ඉගෙනුම් හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම යනාදිය සම්බන්ධයෙන් මෙය අපටත්, ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වෙනත් පාර්ශ්වයන්ටත් අතිශයින් වැදගත් වේවි. මේ ආකාරයට  CIMA  ආයතනය සහ අනෙකුත් ආයතනික හවුල්කරුවන් සමඟ එක්වී, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සාර්ථක හා තිරසර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අප සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් සිටිනවා.”