225ටම හෙණ ගහපන් කියන කාලෙක ජනතාව කුපිත කරවන කතාවක්

0
19


එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශය කුපිත වී සිටින ජනතාව  තවත් කුපිත කරවන්නක් යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ‘මව්බිම’ට පැවැසීය.

ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර ඔවුන් පීඩාවට පත් කරනවිට පාලකයන්ට එරෙහිව ඔවුන් අත එසවුවත් එය පුදුම වන්නට කරුණක් නොවන බව හෙතෙම කීය.

ලේකම්වරයා මෙසේද පැවැසීය.

“ආර්ථික වශයෙන් මුළු රටම කඩාගෙන වැටිලා, මිනිස්සුන්ට කන්න බොන්නත් නැතිව ඉන්න වෙලාවක පාලක පක්ෂයේ උදවිය ගැහුවොත් ගහනවා, මැරුවොත් මරණවා, ලෙයට ලෙය වැනි දේවල් කියන එක ඒ උදවියටම බරපතළ අනතුරක්.

ජනතාව දැන් සමස්ත 225ටම හෙණ ගහපන් කියලා කියන අවස්ථාවක් මේක. ඒක තේරුම් අරගෙන  ජනතාව තවත් සන්සුන් කිරීම වෙනුවට ඔවුන් කුපිත කරවීම විශාල අනුවණකමක්.

මහජනතාවට දරුණු විදිහට සලකපු පාලකයන්ව ගෙදර යවන්න මහජනතාව කටයුතු කරපු අවස්ථාවල් ලෝක ඉතිහාසයේ තිබෙනවා. ඉතාලියේ එහෙම වුණා. මෙහෙම ගියොත් ලංකාවෙත් එහෙම දේවල් වෙන්න යන ඉඩකඩ බොහොම වැඩියි.”

තරිඳු නානායක්කාර