හදිසි ඔෟෂධ මිලදී ගැනීමකට ටෙන්ඩර් 365ක් කැඳවලා

0
18


එසේ මිලදී ගැනීමට ඇණවුම් ලබාදී ඇති ඔෟෂධ වර්ග ඇතුළු තවත් ඔෟෂධ තොගයක් මිලදී ගැනීමට ටෙන්ඩර් 365ක් කැඳවා තිබේ.

මෙයින් ටෙන්ඩර් 174ක් හදිසියේ නැවත කැඳවා තිබෙන්නේ පසුගිය 25 වැනිදායි. ඉතිරි ටෙන්ඩර් කැඳවා තිබෙන්නේ පසුගිය 28 වැනිදායි.

සාමාන්‍ය පිළිවෙත නම් මෙවැනි හදිසි ටෙන්ඩර් කැඳවීමේදී අවම වශයෙන් දින 4ක කාලයක් ලබාදිය යුතුයි. ඒ අනුව ටෙන්ඩර් අවසන් දිනය වන්නේ මේ මස 31දා වුවත්, ඔෟෂධ සංස්ථාවේ නියමය වී ඇත්තේ 30 වැනිදා. එනම් අද මිල ගණන් ඉදිරිපත් කිරීම අවසන් බවයි. ඒ අනුව ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට දී ඇති කාලය දින 4කි.

මෙසේ හදිසියේ අලුතින්ම ටෙන්ඩර් කැඳවා වසරක අවශ්‍යතාවක් වෙනුවෙන් මෙම මිලදී ගැනීම් සිදු කිරීමේදී පසුගිය වසරේ ටෙන්ඩර් කැඳවා ඉන්වෙන්ටු නිකුත් කර ඇති ඔෟෂධ හා අනෙකුත් ද්‍රව්‍ය සඳහා සැපැයුම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති මිල ගණන්වලට සාපේක්‍ෂව ඉතා ඉහළ මිලක ලංසු ඉදිරිපත් විය හැකි බව කියති.

එසේම මූල්‍යමය අස්ථාවරත්වයක් පවතින මෙවන් අවස්ථාවක ඔෟෂධ හා අනෙකුත් ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට යෑමේදී ලැබී ඇති සීමිත මුදල් ප්‍රමාණය ඵලදායී අයුරින් යොදවා ගත නොහැකි තත්ත්වයක් මතුවිය හැකි බවද පෙන්වා දෙයි.

මේ වනවිට බොහොමයක් රජයේ රෝහල්වල ඔෟෂධ හා ශල්‍ය ද්‍රව්‍ය 100කට වඩා වැඩිපුර හිඟයක් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රජයේ රෝහල්වල ඔෟෂධ වර්ග 55ක් පමණ හිඟව ඇති බව පසුගිය 20 වැනිදා “ඉරිදා මව්බිම” පුවත්පත අනාවරණය කළ අතර රට තුළ පවතින ඩොලර් අර්බුදය බෙහෙවින් මෙයට බලපා ඇති බව පෙන්වා දෙන ලදී.

මේ අතර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් රජයේ රෝහල්වලට අවශ්‍ය ඔෟෂධ මෙන්ම අනෙකුත් ශල්‍ය හා රසායන ද්‍රව්‍ය හදිසි මිලදී ගැනීම් ලෙස ඉන්දියාවෙන් මිලදීගෙන (credit line) මඟින් සැපැයීම සඳහා කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

ඒ අනුව මේ වනවිටත් වෛද්‍ය සැපැයීම් දෙපාර්තමේන්තුව මඟින් අලුතින්ම ඇණවුම් රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව වෙත යැවීමට කටයුතු කරමින් සිටී. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යවරයා ඉන්දියාව සමඟ ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාරව ලබාදී ඇති මූල්‍යමය සහනයට (credit line) අනුකූලව ලබාදෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

සටහන

ඔෟෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක මහතාගෙන් මෙම ටෙන්ඩර් කැඳවීම ගැන කරුණු විමසූ විට ඔහු කීවේ ඉන්දියානු ණය ක්‍රමය (credit line) යටතේ ඔෟෂධ මිලදී ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම් කැඳවූ බවත් එම ඔෟෂධ මිලදී ගන්නේ ඉන්දියාවෙන් ඔෟෂධ සපයනා සැපයුම්කරුවන්ගෙන් බවත් විශේෂයෙන් ඔවුන්ගේද ඉල්ලීමක් අනුව මෙසේ හදිසි මිලදී ගැනීමක් කළ බවත්ය.

එසේම ඔෟෂධ සංස්ථාවේ කාර්ය වන්නේ රජයේ වෛද්‍ය සැපැයුම් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ඇණවුම් අනුව අදාළ ඔෟෂධ සැපැයීම් කරන බවයි.