හක්කිඳ අනවසර ඉදිකිරීම් සොයන්න පරිසර ඇමැති නියමයෙන් කමිටුවක්

0
16


සවනි ශේශාධි

මහවැලි ගඟෙහි හක්කිඳ දූපත් ආශි්‍රත අනවසර ඉදිකිරීම්වලට එරෙහිව නෛතික පියවර ගැනීමට පරිසර අමාත්‍යවරයා විශේෂ කමිටුවක් පත් කර ඇත. 

මහනුවර දිස්ත්‍රික් ‍ෙඒල්කම්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මේ කමිටුවට හක්කිඳ දුපත් සමූහය අසල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සියල්ල රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය පවරා තිබේ.

පරිසර අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණය ගෙන ඇත. 

මේ අනවසර ඉදිකිරීම් රජයට පවරා ගැනීමෙන් පසු එම ස්ථානය පාරිසරික අධ්‍යයන කේන්ද්‍රයක් බවට පත් කිරීමටත් තීරණය වී ඇත. 

අනවසර ඉදිකිරීම් කර ඇති බව පැවසුණද එම ඉදිකිරීම්වල වටිනාකමට යම් සාධාරණ මුදලක් ගෙවීමටත් යම් හැකියාව ඇද්ද යන්න සොයා බලන ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දේශපාලන හෝ පෞද්ගලික කාරණා නොසලකා හුදෙක් සංවේදී පරිසර කලාපයක් වන මහවැලි ගඟේ හක්කිඳ දූපත්  ඇතුළු පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස ඇමැතිවරයා එහිදී අවධාරණය කොට තිබේ. 

ප්‍රදේශයේ පරිසර සංවිධාන, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර ඇතුළු පිරිසක් හක්කිඳ දූපත් අසල අනවසර ඉදිකිරීම් පිළිබඳව කර තිබූ පැමිණිලි ගැන සොයා බැලීමට පසුගියදා පරිසර ඇමැතිවරයා එහි නිරීක්ෂණයක යෙදිණි.