සැත්කම් නැවැත්වීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්

0
25


විනීතා එම්. ගමගේ

ඔෟෂධ හා වෛද්‍ය උපකරණ හිඟය නිසා සැත්කම් නවතන ලෙස දන්වා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කාර්ය මණ්ඩලයට.

ලිපියක් නිකුත් කළද, එවැනි තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ රාජ්‍ය අමාත්‍යාංශයට හෝ වෛද්‍ය සැපයීම් ඒකකයට දන්වා නැතැයි ඔෟෂධ සැපයුම් නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

එම රෝහලේ අධ්‍යක්ෂවරයා නිකුත් කළ ලිපිය සමාජ මාධ්‍යවල සංසරණය වෙද්දී තමන් දුටු බවත්, එය දුටු වහාම වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධානීන් ගෙන්වා ඔවුන් ඉදිරියේම ඒ පිළිබඳව පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී හිඟයක් ඇත්තේ නියොස්මිග්මින් (Niostigmin) නමැති නිර්වින්දන ඔෟෂධය පමණකැයි ඔහු පිළිගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා ‘මව්බිම’ කළ විමසීමකදී පැවැසීය.  එම ඔෟෂධයේ මිලිග්‍රෑම් 1.5 රෝහල සතුව ඇති බවත්, හිඟවී ඇත්තේ මිලිග්‍රෑම් .5 කුප්පි පමණක් බවත්  එම දුරකථන සාකච්ඡාවේදී හෙළි වූ බැවින් වහා අවශ්‍ය ඔෟෂධ තොග එහි යැවූ බවත් මහාචාර්ය ජයසුමන කීය.

ඔෟෂධ හිඟයක් පවතී නම් ඒ පිළිබඳව වහාම දන්වන්නැයි, පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන හදිසි ඇමැතුම් අංකයක් පවා ලබාදී තිබියදීත් මෙම රෝහලට අවශ්‍ය ඔෟෂධ පිළිබඳ දැනුම් දී නැතැයිද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත්, රෝගී ජීවිත හා රෝහල් සත්කාරක සේවා පටු දේශපාලන අරමුණින් යොදවා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.