සංචාරක හෝටලයකදී කතක් මරා වැසිකිළි වළකට දාලා

0
32


පොතුපිටිය – සුමිත් රණවක,කොළඹ – ජයසිංහ

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ  සංචාරක හෝටලයක් තුළදී තරුණ කාන්තාවක ඝාතනය කොට වැසිකිළි වළක් තුළ දමා ඇති බවට ලද පැමිණිල්ලක්  මත ඊයේ (29දා) පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පැවැසීය.

එහි හෝටල් හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය. පානදුර, පින්වත්ත කීල්ස් නිවාස සංකීර්ණ පාරේ පිහිටා ඇති සංචාරක හෝටලයක වැසිකිළි වළක් තුළ කාන්තා මළසිරුර ඇති බවට ලද පැමිණිල්ල මත පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද ඊයේ පස්වරුවේ පරීක්ෂණ සිදුකරන ලදී.  

අදාළ තරුණිය කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටී 26 හැවිරිදි  කාන්තාවක බවට මෙතෙක් ලද තොරතුරු අනුව හෙළිව ඇතැයිද පොලිසිය සඳහන් කළේය. හෝටල් කළමනාකරු විසින් දින කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශයේ සිට පානදුර පින්වත්ත  හෝටලයට අදාළ තරුණිය කැටුව විත් ඇති බවත් එහි තවත් සේවකයන් දෙදෙනකු සමඟ අවස්ථා කිහිපයකදී සමීප සම්බන්ධතා පවත්වා ඇති බවටද ලැබී ඇති තොරතුරු මත  

පරීක්ෂණ පවත්වන බවත් පොලිස්  නිලධාරියෙක් කීය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය කීය. පානදුර මහෙස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ සිරුර ගොඩගැනීමට සිදුකිරීමට නියමිත බව පොලිසිය කීය.

කළුතර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර,  පානදුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිරෝෂ් ධර්මසේන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේරත්, උප පොලිස් පරීක්ෂක පෙරේරා, මහ සැරයන් ජයසිංහ, කොස්තාපල්වරුන් වන ජේ.ජී.එස්.කේ. ජයසිංහ (95643) සහ එම්.කේ.ඩී.ඩී. දිසානායක (97896) පරීක්ෂණ සිදුකරති.