ශ්‍රී ලංකාව ගොඩ ගන්න ඉන්දීය රජය “OT කරනවා” ලු

0
1268

බරපතළ ආර්ථික අර්බුදයෙන් මිදීමට උත්සහ කරමින් සිටින ශ්‍රී ලංකාවට ”නිසි වේලාවට සහය වීම ඉතා වැදගත්” බැවින්, ලබා දෙන සහය කඩිනම් කිරීම සඳහා ඉන්දියාව ”අතිකාල” වැඩ කරමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පවසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, සිය තෙදින නිල සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් අද (මාර්තු 30) ඔහු මේ බව ප්‍රකාශ කළ බව ය.

“මේ වගේ තත්ත්වයක් තුළ සාමාන්‍ය වේගයකින් දේවල් කරන්න බැහැ. සෑම දෙයක් ම වේගවත් විය යුතු යි. අපි අතිකාල වැඩ කරනවා. මීට පෙර සති කිහිපයක් ගත වුණු කටයුතු සඳහා දැන් ගත වෙන්නේ දින කිහිපයක්.”  

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකාවට ලබා දීමට පසුගිය දා එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දියානු ණය පහසුකම “ඉතා ඉක්මනින්” ක්‍රියාත්මක වනු ඇති බව ය.

“අපි ශ්‍රී ලංකාවේ අර්බුදයට සහය වෙන්නේ දේශපාලනයෙන් බැහැරව බුද්ධිමත්, අසල්වැසියෙකු මෙන්.”

ඔහු ප්‍රකාශ ප්‍රකාශ කර ඇත්තේ, ඩොලර් මිලියන 400ක ඉන්දීය මහ බැංකු මුදල් හුවමාරුව, ඩොලර් මිලියන 500ක ණය නැවත පියවීම කල් දැමීම, ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක ණය පහසුකම සහ අමෙරිකානු ඩොලර් බිලියන ණය පහසුකම මෙම වසරේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් පහසුකම් අතර වන බව ය.

“අපි මීට පෙර කිසි ම රටක් වෙනුවෙන් මෙවැනි පියවරක් තැබූ බවට මට මතක නැහැ. ස්වාභාවික විපත් හෝ වසංගතවලදී අපි රටවල්වලට උදව් කළා. නමුත් මේක වෙනස්. ශ්‍රී ලංකාවේ “අවශ්‍යතා වැඩි” බව පිළිගනිමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දියාවේ පෞද්ගලික අංශයේ ආයෝජන ඇතුළු මෑත කාලීන ද්විපාර්ශ්වික ගිවිසුම් “ශ්‍රී ලංකාවේ සමස්ත තත්ත්වය ශක්තිමත් කර” ඇති බව ය