විදුලි කප්පාදුව සහ ඩීසල් හිඟය නිසා ඉන්ටර්නෙට් මන්දගාමී වෙයි

0
116

පවතින විදුලි අර්බුදය සහ අඛණ්ඩව සිදු වන විදුලි කප්පාදුව හේතුවෙන් ඉන්ටර්නෙට් වේගය මන්දගාමී වී ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, දුරකතන සන්නිවේදන කුළුණුවලට සම්බන්ධ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ඩීසල් අවශ්‍ය බව ත් මේ වන විට අවශ්‍ය කුළුණුවලට ඩීසල් බෙදා හරිමින් සිටින බව ත් ය.

මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ පැවසීය.

“විදුලිය විසන්ධි වූ අවස්ථාවක දුරකතන සන්නිවේදන කුළුණු ක්‍රියාත්මක කිරීම සඳහා ජනක යන්ත්‍රවලට අවශ්‍ය ඩීසල් ලීටර් 10,000ක් අද (මාර්තු 30) නිකුත් කළා. ඒ වගේ ම දුරකතන කුළුණු සඳහා ඩීසල් අවශ්‍ය ඕනෑ ම කෙනෙකුට ඕනෑ ම මොහොතක අපෙන් ඉල්ලන්න පුළුවන්, අවශ්‍ය පරිදි අපි ඩීසල් නිකුත් කරනවා. 

දැනට රෝහල්වලට සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයට ඩීසල් ලබා දීමට ප්‍රමුඛත්වය දී ඇති අතර ඒ අනුව අපි ඩීසල් බෙදා හැරීමට කටයුතු කරනවා. ඩීසල් අඩංගු නෞකාවක් පසුගිය දා මෙරටට පැමිණ තියෙනවා එය පිළිවෙළින් හෙට දිනයේ වරායෙන් මුදා හැර බෙදා හැරීමට නියමිත යි.”

මේ අතර, විදුලිය ඇණහිටීම් මධ්‍යයේ වුව ද රටේ දුරකතන සම්බන්ධතා බාධාවකින් තොරව පවතින බව සහතික කිරීමට විදුලි සංදේශ කොමිෂන් සභාව පියවර ගන්නා බව ඔහු වැඩිදුරට ත් පැවසීය.