වසර 17කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පාකිස්තානයේ සංචාරයක

0
14


ඒ අනුව පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි වසරක ජාත්‍යන්තර තරග කාලසටහන එරට ක්‍රිකට් පරිපාලනය මඟින් නිවේදනය කර තිබූ අතර, එම නිවේදනයට අනුව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් සහ විස්සයි-20 තරගාවලියකට සහභාගි වීමේ අරමුණින් ශ්‍රී  ලංකා කාන්තා පිල පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව ඇත. 

අදාළ තරගාවලිය මැයි මස 18 වැනිදා සිට ජුනි මස 7 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද සඳහන්ය. එමෙන්ම අදාළ තරගාවලිය සඳහා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3ක් සහ විස්සයි-20 තරග 3ක් ඇතුළත් බවද සඳහන්ය. මෙම තරගාවලියේ සියලු තරග පාකිස්තානයේ රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවද එහි දක්වා තිබිණි. 

මෙහිදී එක්දින තරගාවලිය අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලියට අදාළව පැවැත්වීමට නියමිතව තිබීමද විශේෂත්වයකි. එමෙන්ම පාකිස්තාන ක්‍රිකට් පරිපාලනය මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නිවේදනයක දක්වා තිබුණේ එංගලන්තයේ බර්මිංහැම් නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ චීනයේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති බවය.  

 1998 වසරේ සිට පාකිස්තානය සහ ශ්‍රී  ලංකාව අතර කාන්තා ක්‍රිකට් තරග පවත්වා ඇත. එහෙත් ද්විපාර්ශ්වීය තරගාවලියක් සඳහා ශ්‍රී  ලංකා කාන්තා පිල මෙතෙක් පාකිස්තානයේ තරග සංචාරයකට එක්ව නොතිබිණි. කෙසේ වෙතත් 2005/06 කාලසීමාව තුළ පාකිස්තානයේදී පැවැති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී  ලංකා කාන්තා කණ්ඩායම එක්ව තිබිණි.

කෙසේ වෙතත් අවසන් වරට පාකිස්තාන කාන්තා කණ්ඩායමක් 2017/18 වසරවලදී ශ්‍රී  ලංකාවේ එක්දින තරගාවලියක් සඳහා එක්ව ඇති අතර එම තරගාවලියෙන් තරග 3-0ක ජයක් පාකිස්තාන කණ්ඩායමට හිමි විය.

සටහන – ගමිත දෙහිපිටිය