ලංකා හොස්පිටල්ස් 2021 වසරේදී විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරයි

0
42


ලංකා හොස්පිටල්ස් 2021 මූල්‍ය වර්ෂයේදී සිය ඉතිහාසයේ ඉහළම ආදායමක් සහ ලාභයක් වාර්තා කරමින් විශිෂ්ට සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලංකා හොස්පිටල්ස් සමූහය 2020දී වාර්තා කළ රුපියල් බිලියන 6.8ක ආදායමට සාපේක්ෂව 2021දී රුපියල් බිලියන 10ක ආදායමක් වාර්තා කළ බවයි. මෙය 2020 වසරට සාපේක්ෂව 47%ක ඉහළ වර්ධනයකි. ලංකා හොස්පිටල්ස් සමූහය 2020දී වාර්තා කළ රුපියල් මිලියන 384ක බදු පසු ලාභයට සාපේක්ෂව 2021දී රුපියල් බිලියන 2.2ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර එය පෙර වසරට සාපේක්ෂව හය ගුණයක සුවිශේෂ වර්ධනයකි. ‘ලංකා හොස්පිටල්ස්හි අඛණ්ඩ වර්ධනය අපගේ සේවකයන්ගේ සහ කළමනාකාරිත්වයේ කැප කිරීම් පිළිබඳ ප්‍රබල සාක්ෂියක්. වෛද්‍ය සේවා සහ සෞඛ්‍ය කළමනාකරණයේ නවීන තාක්ෂණය වැලඳ ගනිමින් ගුණාත්මක සේවා සැපයීම කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරීම ලංකා හොස්පිටල්ස් සමූහයේ ඉහළ වර්ධනයට ප්‍රධාන හේතුවක්’ ලංකා හොස්පිටල්ස් සමූහයේ සභාපති විද්‍යාජෝති වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහතා පැවැසීය.

 ‘2021 අභියෝගවලින් පිරුණු වසරක්. සභාපතිතුමාගෙන්, අධ්‍යක්ෂ මණ්ඩලයෙන්, විධායක කමිටුවෙන්, ජේ‍යෂ්ඨ කළමනාකාරිත්වයෙන්, කාර්ය මණ්ඩලයෙන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලැබුණු විශිෂ්ට සහයෝගය නිසා අපගේ රෝහල සහ රසායනාගාර සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ඉහළම තලයක වැජඹෙනවා. කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අපි ලංකාවේ ප්‍රථම වතාවට අතරමැදි සත්කාර මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කළා. කොවිඩ් – 19 නිසා කම්පනයට පත් වූ පවුල්වලට සැනසීම ලබාදෙමින් පුද්ගලයන් 10,000කට වැඩි පිරිසකට ප්‍රතිකාර කර තිබෙනවා’ ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා පැවැසීය. ඇඳන් 300කින්, දැඩි සත්කාර ඒකක 6කින්, සාමාන්‍ය ශල්‍යාගාර 10කින්, හෘද ශල්‍යාගාර 2කින් සහ අති නවීන කැතීටර් රසායනාගාරයකින් සමන්විත ලංකා හොස්පිටල්ස් සමූහය වාර්ෂිකව රෝගීන් 3,00,000කට සේවය සපයයි. ලියාපදිංචි වෛද්‍ය උපදේශකයෝ 950ක් සහ ඉහළ පුහුණුවක් ඇති දක්ෂ වෛද්‍ය සහ සහායක කාර්ය මණ්ඩලයක් ලංකා හොස්පිටල්ස් ජාලය තුළ සේවා සපයති. රෝහලේ ප්‍රධාන රසායනාගාරය ප්‍රාදේශීය රසායනාගාර ජාලයක් සමඟ එකතුව සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන 35ක් සහ රෝහල් කණ්ඩායමට අනුබද්ධ තෙවැනි පාර්ශ්වවල සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථාන 1,100කට අධික සංඛ්‍යාවක් සමඟ කාර්යක්ෂම සහ නිරවද්‍ය සේවාවක් සපයයි.