මන්ත්‍රිවරු කැමැති නම් මැතිසබය විසුරුවන්න පුළුවන්

0
14


විනීතා එම්. ගමගේ

වසර දෙකහමාරක් ගතවනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්නට නොහැකි බවට කථානායකවරයා ප්‍රකාශයක් කර ඇත්තේ වැරදි උපදේශයක් මත යැයි ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල කොළඹදී ඊයේ (29දා) පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (අ) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරන යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට අවස්ථාව ඇතැයි ගම්මන්පිල මන්ත්‍රිවරයා අවධාරණය කළේය. එසේම ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර, ජනාධිපති ධුරය හෝ රජයේ කිසිදු වැදගත් තනතුරක් දැරිය නොහැකි වන පරිදි 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන එන බවද උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා පැවැසීය.

තම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ 113ක සහයෝගය ලැබුණු වහාම එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කී හෙතෙම එයින් පසු දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් කවුදැයි ජනතාවට දැක ගැනීමට හැකි බවද අවධාරණය කළේය. මේ ආණ්ඩුව අවසන් වනදාට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පමණක් නොව වසර 80ක ලංකා දේශපාලනයේ පවුල් පාලනයද අවසන් වන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.  

රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙන ඡන්ද, කෙමනක් අටවා එකතුකර මීළඟ ජනපතිවරණයේදී නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ගිණුමකට එකතු කිරීමේ කුමන්ත්‍රණයක තමන් යෙදී සිටින බවට විපක්ෂයේ සමහරු කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම කියා සිටියේය.

මන්ත්‍රිවරයා මේ අදහස් පළකළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 

එහිදී ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“අපිට නැවත රාජපක්ෂවරයකු රජ කිරීමේ වුවමනාවක් නෑ. මොන රාජපක්ෂ රජ වුණත් අවසානයේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ.  බැසිල්ගේ කල්ක්‍රියාව දුටු විට අපට සිහිපත් වෙන්නේ ඔටෝමාන් අධිරාජ්‍යයේ සිටි කෝසම් සුල්තානා.

බැසිල් රාජපක්ෂ රජ වුණේ 20 වැනි සංශෝධනය නිසා කියලා මිථ්‍යාවක් අද සමහරු පතුරනවා. 20 වැනි සංශෝධනය නිසා සිදු වුණේ බැසිල්ට මුදල් ඇමැති ධුරය ලැබුණු එක විතරයි. මුදල් ඇමැතිට රට පාලනය කරන්න බලයක් කොහෙන්ද?  ජේ. ආර්. ආණ්ඩුවේ රට පාලනය කළේ රොනී ද මැල් ද? ප්‍රේමදාස ආණ්ඩුවේ රට පාලනය කළේ කේ. එන්. චොක්සි ද?  සිරිසේන ආණ්ඩුවේ රට පාලනය කළේ මංගල සමරවීර ද? නෑ. අද බැසිල් රාජපක්ෂ මහතා රට පාලනය කරන්නේ 20 වැනි සංශෝධනය හරහා පත්වූ මුදල් ඇමැති පාර්ලිමේන්තු බහුතරය තිබෙන පොහොට්ටු පක්ෂයේ නායකයා විදිහටයි ඔහු අද රට පාලනය කරමින් සිටින්නේ. හරියටම කියනව නම් රට විනාශ කරමින් සිටින්නේ. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති වෙන්න පුළුවන් වුණෙත් 19 ව්‍යවස්ථාව නිසා. බැසිල් රාජපක්ෂත් මේ ආකාරයෙන්ම රට පාලනය කරනවා. එසේ නම් 19 වැනි සංශෝධනයෙන් වැසුවේ නැති හිල් ටිකක් දැන් වැසිය යුතුයි.

අද වෙබ් අඩවිවල වාර්තා කරලා තිබුණා කථානායකතුමා කිව්වා කියල පාර්ලිමේන්තුව වසර දෙකහමාරක් යනතුරු විසුරුවා හරින්න බැහැ කියලා. ඇත්තෙන්ම කථානායකතුමාට වැරදි උපදෙසක් දීලා තියෙන්නේ. මම අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය කියවන්නම් රටටම දැන ගන්න.

එහෙම අවශ්‍ය වෙන්නේ ජනාධිපතිතුමාගේ කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. නමුත් පාර්ලිමේන්තුවේ වුවමනාවෙන් පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හරින්න පුළුවන්. ඒ බව සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 / (අ) වගන්තියේ. එම වගන්තිය කියවන්නම්. (අෑ) වැනි ඡේදයේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මඟින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියොත් මිස ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස 6කට නොඅඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුත්තේය. 

පාර්ලිමේන්තුවට පුළුවන්  ඕනම වෙලාවක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. එතකොට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිද්ධ වෙනවා.  එහෙම ඉල්ලීමක් නැතුව ජනාධිපතිවරයාට විසුරුවා හරින්න නම් පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීමේ ඉඳන් අවුරුදු දෙකහමාරක් ගත වෙනවා. එතකොට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් 2023 මාර්තු 3 දක්වා බලා සිටීමට සිදුවිය යුතුයි. පහුගිය කාලේ බැසිල් රාජපක්ෂගේ දේශද්‍රෝහී දූෂිත වැඩපිළිවෙළට සහාය දක්වපු මන්ත්‍රිවරුන්ගේ බඩ පපුව දන්න පටන් අරගෙන තියෙනවා. ඒ අයගේ සිත සැනසීමට තමයි මෙවැනි බොරුවක් ආණ්ඩුවෙන් ප්‍රචාරය කර තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදියි. ඇත්තම කියනවා නම් පාර්ලිමේන්තුවේ 

ගණපූර්ණය විස්සයි. විස්සක් වාඩිවෙලා එකොළහක් කැමැති වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.”