මත්ද්‍රව්‍යවලින් දරුවන් අෑත් කළ හැකි හොඳම ක්‍රමවේදය ඔවුන් ක්‍රීඩාවට යොමු කිරීම

0
15


පාසල් ක්‍රීඩාව ගොඩනැඟීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි, තරුණ හා ක්‍රීඩා සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. 

මත්ද්‍රව්‍යවලින් දරුවන්ව අෑත් කිරීමට හැකි හොඳම ක්‍රමය ඔවුන්ව ක්‍රීඩාවට යොමු කිරීම බවද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කීය. 

ක්‍රීඩාවෙහි දක්ෂ පාසල් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ඇගයීමට  ලක් කරමින් මොරටු මහා විද්‍යාලයේ පැවැති ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව පැවැසීය. 

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය. 

පාසල් ක්‍රීඩාවේ විශේෂත්වය වෙන්නේ එක  වයස් කාණ්ඩයක සෙල්ලම් කරන්න පුළුවන් සීමිත කාල සීමාවක් වීමයි. 19න් පහළ දරුවෙක්ට එක  season  එකක් මිස් වුණොත් ඒ දරුවට ආයෙම වතාවක් ඒ වයස් කාණ්ඩය යටතේ තමන්ගේ පාසල නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. කොවිඩ් – 19 වසංගත කාලය අතරතුර එය සිද්ධ වුණා. 

ක්‍රීඩකයෙක් ගොඩනැඟෙන්නේ පාසල් පද්ධතිය තුළ නිසා පාසල් තරගාවලි පැවැත්වීම ඉතාමත් කැපකිරීමෙන් සිදුකළ යුතු කාර්යයක් වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ අපිට ක්‍රීඩකයෙක් ලැබෙන්නේ අවු:19න් 20 න් පස්සේ. ඒ තාක් පාසල් ක්‍රීඩාව තිබෙන්නේ පාසල තුළයි. 

ඒ වගේම විදුහල්පතිතුමන්ලා තුමියන්ලා ආදි ශිෂ්‍ය ශිෂ්‍යයෝ ප්‍රදේශයේ ධානපතියන් එකතු කරගෙන මේ පාසල තුළ ක්‍රීඩාව ගොඩනැඟීම පිළිබඳව අපි ආණ්ඩුවක් විදිහටත් අමාත්‍යාංශයක් විදිහටත් විශේෂ අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම දරුවෝ විදිහට ඔබ විශාල කැපකිරීමක් කළ යුතුයි. 

බහුතරයක් මවුපියන්ට හා ගුරුවරුන්ට ඕන පොතපතේ තිබෙන ප්‍රතිඵල බලන්න. ගුරුවරයෙක් හෝ ගුරුවරියක් විදුහල්පතිවරයා අගයන්නේ AL/OL විභාග අවසානයේ සමත් වූ ප්‍රතිශතය අනුවයි. ක්‍රීඩාව බලන්නේ ඉතාමත් කලාතුරකින්. යථාර්ථය එයයි. 

 නමුත් විනයානුකූල අංගසම්පූර්ණ දරුවෙක් හැදෙන්න නම් ඒ දරුවා ක්‍රියාශීලී දරුවෙක්  විය යුතුයි. එම දරුවාට සමාජය පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. කණ්ඩායම් හැඟීමකින් වැඩ කළ හැකි විය යුතුයි. සහ අභියෝගවලට මුහුණ දිය හැකි දරුවෙක් බවට ඔහු පත් විය යුතුයි. විනයානුකූල අංගසම්පූර්ණ දරුවෙක් හැදෙන්න ඒ දරුවා කලාවට හා ක්‍රීඩාවට නැඹුරු විය යුතු යැයි අප විශ්වාස කරනවා. 

දක්ෂ ක්‍රීඩකයෙක් බිහිවෙන්න නම් ඒ ක්‍රීඩකයා හොඳ ප්‍රබුද්ධ හා විශ්ලේෂණාත්මක මනසකින් යුතුව තමන්ගේ විරුද්ධවාදී කණ්ඩායම එහෙම නැත්නම් ඒ කණ්ඩායමේ ක්‍රීඩකයන් හඳුනාගැනීමට, ඔවුන්ව කියවීමට මනා දැනුමක් සහ හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක් විය යුතුයි යන්න මා ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩා අමාත්‍යවරයා විදිහටත් විශ්වාස කරනවා. 

තමන්ගේ ශක්තිය වගේම දුර්වලකම දන්න ක්‍රීඩකයෙක් සෑම විටම දක්ෂ ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. 

නමුත් හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් කියන්නේ හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක්. ඔබ තවම පාසල් වියේ සිටින තරුණ දරුවෝ එක පැත්තකින් විනය හදාගන්න, අධ්‍යාපනය හදාගන්න, ඒ වගේම ක්‍රීඩා කරන්න. 

ක්‍රියාශීලී දරුවෙක් ගොඩනඟන්න. ඔබේ පාසල තුළ ක්‍රියාශීලී දරුවෙක් ඔබ ගොඩනැඟුවොත් දවසක රටට කීර්තියක් ගේන්න පුළුවන් දරුවෙක් ගොඩනැඟුවා කියන හැඟීමෙන් ඔබට ආඩම්බර වෙන්න පුළුවන්. 

මමත් පාසලේ හතර වතාවක් වර්ණ ලැබුවා. වසර හතරක් 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළා. 16න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් නායකත්වය දැරුවා. ඒ හැම අවස්ථාවක මා අකැමැතිම කාරණය වර්ණ ප්‍රදානෝත්සවයේදී ඇවිත් පැය ගාණක් කතා පවත්වන එක. ඒ නිසා අද ආරාධිත අමුත්තා විදිහට ඇවිත් මම ඒ වැරැද්ද කරන්නේ නැහැ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය